පළමු තරගයේ දී ම ඔස්ට්‍රේලියානුවන්ට කීස් කන ප්‍රතිඵලයක්

64
Women’s U19 Tri-Nation Series

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

1 වැනි තරගය, හම්බන්තොට, 28, මාර්තු 2023, Women’s U19 Tri Nation Series

o කාසියේ වාසිය – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සූරියවැව.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මනුදි නානායක්කාර (නායිකාව), දෙව්මි විජේරත්න, සංජනා කාවින්දි, නෙත්මි පූර්ණා, රශ්මි නේත්‍රාංජලී, රශ්මිකා සෙව්වන්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), හිරුනි හංසිමා, ශෂිනි ගිම්හානි, චමෝදි මුණසිංහ, විශ්මි සාවින්දි.

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: Lucy Hamilton (නායිකාව), Kate Pelle (කඩුලු රකින්නිය), Ines Mckeon, Amy Smith, Hasrat Gill, Eleanor Larosa, Grace Lyons, Maggie Clark, Sienna Eve, Tegan Williamson, Ella Briscoe.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් තම පන්දුවාර 20 තුළ රැස් කර ගත හැකි වන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 117ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක වමත් පිතිකාරිනී සංජනා කාවින්දි. ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

ඊට අමතර ව සුමුදු නිංසසලා ද පන්දු 17ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූවා.

අනෙකුත් ක්‍රීඩිකාවන් අතුරින් නායිකා මනුදි නානායක්කාර (16), දෙව්මි විජේරත්න (15) සහ රශ්මි නේත්‍රාංජලී (14) ද කණ්ඩායම වෙනුවෙන් තම උපරිම දායකත්වය දැක් වූවා.

කඩුලු දවා ගැනීමේ දී Hasrat Gill සහ Eleanor Larosa කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Sienna Eve සහ Tegan Williamson කඩුල්ල බැගින් දවා ගත්තා.

ලෙහෙසියෙන් සපුරා ගත හැකි පිළිතුරු ඉනිමක් සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නේ ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 29ක් තුළ දැවී යෑමත් සමඟිනුයි.

නමුත් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් ගොඩ නගමින් තම කණ්ඩායමේ නොපැකිලෙන සටන්කාමීත්වය විදහා දැක් වීමට Eleanor Larosa සහ නායිකා Lucy Hamilton ඉදිරිපත් වූවා.

Lucy Hamilton පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටිය දී දැවී යෑමෙන් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. ඒ ලද අවසරයෙන් ඔස්ට්‍රේලියා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූවා.

ඒ අනුව ඔවුන්ගේ ඉනිම කඩුලු 6ක දී ලකුණු 110කට සීමා කිරීමට ඔවුන් සමත් වූවා. තරගය පරාජයෙන් කෙළවර වන විට Eleanor Larosa පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා.

ඔහුත් සමඟින් අනෙක් පස නොදැවී ක්‍රීඩා කළ Grace Lyons පන්දු 15කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දෙව්මි විජේරත්න ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව රශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී සහ චමෝදි මුණසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 117 (20.0) සංජනා කාවින්දි 28, මනුදි නානායක්කාර 16, සුමුදු නිසංසලා 19, Hasrat Gill 2/16, Eleanor Larosa 2/21

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවි 110 (20.0) Eleanor Larosa නොදැවී 44, Lucy Hamilton 28, දෙව්මි විජේරත්න 2/22

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

මෙම තරගාවලියේ 2 වැනි තරගය හෙට (29) ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<