දේශීය ක්‍රිකට් සංවර්ධනයට නව මාර්ගෝපදේශ මාලාවක්

766

මෙරට දේශීය ක්‍රිකට් පිටියේ 2023 තරග වාරයේ දෙවැනි අදියර ආරම්භ කරමින් අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මැයි 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට ආරම්භ කිරීමට දින කිහිපයක් තිබිය දී තරගාවලියේ සංවර්ධනය සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙහි ප්‍රධානතම වෙනස ලෙස විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමට හැකි වීම හැඳින්විය හැකි අතර මීට පෙර සිදු කළ ආකාරයට නොව මෙවර කණ්ඩායම් සඳහා ලියාපදිංචි කරන ක්‍රීඩකයින් පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් විය යුතුයි.

එමෙන්ම සෑම ක්‍රීඩා සමාජයක් සඳහා මෙවර විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ගිවිසුම්ගත කර ගැනීමට ද අවසර ලැබෙනවා.

“ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයින් සියලු දෙනා පළමු පෙළ ක්‍රීඩකයින් විය යුතුයි. අපි මෙරට දේශීය ක්‍රිකට් පිටියේ ගුණාත්මක බව වැඩි කිරීමට විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්න රැගෙන එනවා. ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නේ දේශීය ක්‍රීඩකයින් 44කට සිය ස්ථාන අහිමි කරමිනුයි. ඒ නිසා ක්‍රීඩා කරන්න කියලා ක්‍රීඩා සමාජවලින් සාමාන්‍ය ක්‍රීඩකයින් ගේනවා නම් ඒක වැඩක් නැති දෙයක්.

ඒ නිසා මේ අවුරුද්දේ ඉඳලා පළමු පෙළ ක්‍රීඩා කරලා නැති කිසිම විදෙස් ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන්න අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් ලියාපදිංචි කර ගන්නා ක්‍රීඩකයින්ගේ දත්ත පරීක්ෂා කර සියලු තොරතුරු එවන්න කියලා ක්‍රීඩා සමාජවලට කියලා තියෙන්නේ.

මීට කලින් සාමාන්‍ය මට්ටමේ විදෙස් ක්‍රීඩකයින් විසින් ක්‍රීඩා සමාජවලට ගෙවීම් කරලා මෙරට තරගාවලි ක්‍රීඩා කළා, ඒ ඔවුන් මීට පෙර පළමු පෙළ ක්‍රීඩා කර නැති නිසා ශ්‍රී ලංකාව තුළ පළමු පෙළ වර්ම් දිනාගෙන වෙනත් රටවල් වල පළමු පෙළ තරග ක්‍රීඩා කරන්නයි.

මම ඒක දැන ගත්තට පස්සේ තමා මේක නවත්තන්න වැඩ කටයුතු කරන්නේ. සමහර ක්‍රීඩා සමාජ ඒකට අකැමැති වුනත් කරන්න දෙයක් නැහැ, අපි ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය ඉහළට ගන්නයි. ඔබ අවශ්‍ය තීරණ ගත්තේ නැත්නම් කවදාවත් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නංවන්න ලැබෙන්නේ නැහැ. මෙම මේක කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වල හොඳටයි,” යැයි තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම මීළඟ මාර්ගෝපදේශනය ලෙස ක්‍රීඩකයින්ට ගෙවන මුදල හැඳින්විය හැකි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා ලැබෙන මුදල් වශයෙන් ක්‍රීඩකයෙකුට තෙදින තරගයක් සඳහා අවම රුපියල් 15,000ක් සහ එක්දින තරගයක් සඳහා රුපියල් 10,000ක මුදලක් හිමි වෙනවා.

“මෙම සියලු ගෙවීම් ක්‍රීඩකයින්ගේ ගිණුම් සඳහා online ක්‍රමයට සිදු කිරීමෙන් පසු අදාළ ගෙවීම් තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ යුතුයි. ඒ ක්‍රමය ඔස්සේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩකයින් සඳහා ගෙවීම් නොකර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන්න බැහැ. මෙම ක්‍රමය පසුගිය වසරේ ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ වගේම මගේ ප්‍රධාන අරමුණ ක්‍රීඩකයින් ගැන සොයා බැලීමයි.

ක්‍රීඩකයින්ගේ ගෙවීම් තමා වැදගත්ම දේ, මොකද අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුදල් දෙන්නේ ක්‍රීඩකයින් නිසා මිසක් නිලධාරීන් නිසා නෙවෙයි. අපි ඒක තේරුම් ගන්න ඕන.”

කෙටි විවේකයකින් පසු දේශීය පිටියේ වැඩ ආරම්භ කරමින් විස්සයි විස්ස තරගාවලිය මැයි 27 සිට ජුනි 11 දක්වා පැවැත්වීමට නියමිත අතර කණ්ඩායම් 22ක් කාණ්ඩ 4ක් ඔස්සේ තරග වදිනු ඇත.

එම තරගාවලියෙන් පසු තුන්දින තරගාවලිය ජුනි 16 සිට ජූලි 23 දක්වා පැවැත්වීමෙන් පසු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තරගාවලිය නතර කිරීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් අවසන් තරගය පැවැත්වීමෙන් පසු මෙම තරගාවලිය නැවත ආරම්භ කර සැප්තැම්බර් 10 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

එම තරගාවලිය අවසන් වීමෙන් පසු ඔක්තෝබර් මාසයේ දී එක්දින තරගාවලිය ආරම්භ කිරීමට නියමිත අතර එම තරගාවලියෙන් පසුව 2023 දේශීය තරග වාරය අවසන් වනු ඇත.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වැඩි ලෙස භාවිතා වීම වැළැක්වීමට සිදු කළ යෝජනාව ගැන අදහස් දැක්වූ සමන්ත දොඩංවල මහතා ප්‍රකාශ කළේ,

“මම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යෝජනාවක් ඉදිරිපත් කළා ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල මෙම තරග පවත්වන්න එපා කියලා. විදුලි ආලෝක සහිත ක්‍රීඩාංගණවල ආර්. ප්‍රේමදාස, සූරියවැව, දඹුල්ල සහ පල්ලෙකැලේ වැනි ක්‍රීඩාංගණවල ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කරන එක සීමා කරන්නයි අදහස.

විවිධ ක්‍රීඩා සමාජ සහ පාසල් තරගවලට එම ක්‍රීඩාංගණ ලබා දීමේ දී ක්‍රීඩාංගණය භාවිතා වීම වැඩි නිසා එම ක්‍රීඩාංගණ ඉක්මනින් මන්දගාමී වෙන්න පටන් ගන්නවා. අවම වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සතු ක්‍රීඩාංගණ හෝ ආරක්ෂා කර ගන්න ඕන.

ඒ වගේම ආසියානු කුසලානය ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කළොත් ඒ තරග දිවා-රාත්‍රි වෙන නිසා යොදා ගන්නේ විදුලි ආලෝක සහිත ක්‍රීඩාංගණයි. ඒ නිසා මම හිතන්නේ නෑ ඒ තරග නිසා දේශීය තරගවලට බාධාවක් වෙයි කියලා. ජාත්‍යන්තර තරග පැවැත්වුනත් නැතත් දේශීය තරග සමඟ ගැටීමක් වෙන්නේ නැහැ,” යැයි සමන්ත දොඩංවල වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Daily FT ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<