Lauraගේ ශතකය සමඟ දකුණු අප්‍රිකාවට පහසු ජයක්

Sri Lanka Women's Tour of South Africa 2024

62
Sri lanka women's tour of south africa
(Photo by Sydney Seshibedi/Gallo Images)

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ඊයේ (27) රාත්‍රියේ පැවැත්වුණා. 

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 79ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව විසින් සමත් වුනා. 

දකුණු අප්‍රිකාවේ Benoni හිදි ආරම්භ වුන මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සතු වූ අතර, ඇයගේ ආරාධනය මත දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් තරගයේ පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමේ වගකීම බාර ගත්තා. 

ඒ අනුව පිටියට පිවිසි අප්‍රිකානු ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 25කට සීමා කිරීමට ඉනෝශි ප්‍රනාන්දු විසින් සමත් වූ නමුත් එතැන් පටන් සම්පූර්ණ ඉනිම ම දකුණු අප්‍රිකාව නතු වුනා. 

අප්‍රිකානු දෙවැනි කඩුල්ල වෙනුවෙන් Laura Wolvaardt සහ Marizanne Kapp අතර ලකුණු 116ක සබඳතාවක් පැවැත්වුණු අතට මෙහි දී Kapp විසින් පන්දු 40කින් ලකුණු 60ක් වාර්තා කර ගැනීමට සමත් වුනා. 

නියමිත පන්දුවාර විස්ස අවසන් වන විට අප්‍රිකාවෙන් ලකුණු 198ක ලකුණු පුවරුවක් වාර්තා වූ අතර මේ වෙනුවෙන් ඉනිමේ ඉහළම ලකුණු ලාහිනිය වූ Wolvaardtගේ පිත්තෙන් ලකුණු 102ක් වාර්තා වුනා. 

පන්දු 63ක් තුළ වාර්තා වූ මෙම ඉනිම සඳහා ඇයගේ පිත්තෙන් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් එල්ල වුනා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් අචිනි කුලසූරිය කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

අප්‍රිකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භ පිතිකාරිනියන් ලෙස නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පිටියට පිවිසුනත් ඔවුන් දෙදෙනා ම ඉනිමට ලකුණු 22ක් එක් වන විට දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු බළඇණියට හැකියාව ලැබුණා. 

කෙසේ වෙතත් ඉන් පසු කඩුල්ලේ එක් වූ හර්ශිතා සමරවික්‍රම සහ හසිනි පෙරේරා විසින් ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් ලබා දීමට සමත් වෙමින් ඉක්මනින් ලකුණු අතරට පිවිසීමට සමත් වුනා. 

ඔවුන් දෙදෙනා විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක් එක් කිරීමට සමත් වූ අතර, පන්දු 18කින් ලකුණු 30ක් ලබා ගත් හසිනි පෙරේරාගේ දැවීයාමත් සමඟ එම සබඳතාව ද බිඳ වැටුණා. ඉන් මොහොතකට පසු මෙතෙක් වෙලා සාර්ථක ඉනිමක් දියත් කරමින් සිටි හර්ශිතා ද පන්දු 33කින් ලකුණු 38ක් ලබා ගැනීමෙන් පසුව දැවී ගිය අතර, ඉන් පසුව නම් කිසිඳු ශ්‍රී ලාංකික පිතිකාරිනියක් සාර්ථක ඉනිමක් කරා යාමට සමත් වුනේ නැහැ. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හත් දෙනෙකු ම ලකුණු 10 සීමාවට පැමිණීමට පෙර දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන් විසින් සමත් වූ අතර, එහි දී Tumi Sekhukhune සහ Annerie Dercksen කඩුලු දෙක බැඟින් බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව මෙම තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 79ක ජයක් ලබද්දී, ශතක ලාභිනී Laura Wolvaardt තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තා. 

තරගාවලියේ මීළඟ විස්සයි විස්ස තරගය මාර්තු මස 30 වැනි දා පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<