ගුවන් හමුදා A අපරාජිත බව අවසන්

අන්තර් සමාජ කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය 2022

163

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (9) ක්‍රියාත්මක වුනා.

එම තරගවල දී යුද හමුදා ක්‍රීඩා සමාජ A, යුද හමුදා ක්‍රීඩා සමාජ B, සීනිගම ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා.

මෙතෙක් තරගාවලිය තුල අපරාජිතව සිටි යුද හමුදා A සහ ගුවන් හමුදා A කණ්ඩායම් අතර පැවති තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක තියුණු ජයක් ලබා ගැනීමට යුද හමුදාව සමත් වුනා. ඒ අනුව ඔවුන් දැනට මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ ක්‍රීඩා කළ තරග 5ම ජයගෙනයි.

පනාගොඩ දී පැවැත්වුණු එම තරගයේ දී යුද හමුදාව වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීමට මදුෂිකා මෙත්තානන්ද සමත් වුනා. ඇය පිතිකරණයෙන් ලකුණු 24ක් සහ පන්දු යැවීමෙන් ලකුණු 24කට කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.

හලාවත මේරියන්ස් සහ නාවික හමුදාව අතර පැවති තරගයේ දී නාවික හමුදාව වෙනුවෙන් ඉනෝකා රණවීර, තාරිකා සෙව්වන්දි සහ උදේශිකා ප්‍රබෝධනී යන ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙන ක්‍රීඩිකාවන් තිදෙනා කඩුලු 3 බැගින් දවාගෙන  මේරියන්ස් ඉනිම ලකුණු 76කට සීමා කළා.

කවීෂා දිල්හාරි (ලකුණු 79 – සීනිගම ක්‍රිකට් සමාජය) සහ මලකි මදාරා (ලකුණු 81 – ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B) දෙදෙනාම අර්ධ ශතක ලබා ගත් තරගයෙන් තියුණු සටනකට පසුව ලකුණු 12ක ජයක් ලබා ගැනීමට සීනිගම ක්‍රිකට් සමාජය සමත් වුනා.

එහි දී සචිනි නිසංසලා සහ සුලේෂා සත්සරණී යන වමතින් දඟපන්දු යවන ක්‍රීඩිකාවන් දෙදෙනා කඩුලු 3 බැගින් දවාගෙන සීනිගම ජය තහවුරු කිරීමට දායක වුනා.

4 පහර 3ක් එල්ල කරමින් අයේෂා චන්ද්‍රසිරි ලබා ගත් අර්ධ ශතක දස්කම (ලකුණු 51) සහ සඳනි ද සිල්වා (4/15) දැක්වූ පන්දුකරණ දස්කම් නිසා කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 84ක ජයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජ B කණ්ඩායමට හැකියාව ලැබුණා.

තවද, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B කණ්ඩායම් මෙවර තරගාවලිය තුල තවමත් එකඳු ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට සමත් වී නැහැ.

යුද හමුදා ක්‍රීඩා සමාජ A සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A තරගය – පනාගොඩ දී

කාසියේ වාසිය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A

යුද හමුදා ක්‍රීඩා සමාජ A – 126/9 (48): මදුෂිකා මෙත්තානන්ද 24, ඕෂදී රණසිංහ 4/26.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A – 110/9 (44): ඕෂදී රණසිංහ 24, මදුෂිකා මෙත්තානන්ද 3/24.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව යුද හමුදා ක්‍රීඩා සමාජ A කණ්ඩායමට ලකුණු 11ක ජයක්

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය – හලාවත මේරියන්ස්

හලාවත මේරියන්ස් – 76/10 (38): සඳලි වීරසිංහ 25, ඉනෝකා රණවීර 3/11, තාරිකා සෙව්වන්දි 3/12, උදේශිකා ප්‍රබෝධනී 3/20.

නාවික හමුදා ක්‍රීඩා සමාජය  – 77/6 (17.1): හංසිමා කරුණාරත්න 18, කෞශල්‍යා ජයවර්ධන 2/17, විදූෂිකා පෙරේරා 2/20.

නාවික හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්

සීනිගම ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B – කටුනායක දී

කාසියේ වාසිය – සීනිගම ක්‍රිකට් සමාජය

සීනිගම ක්‍රිකට් සමාජය – 185/9 (50): කවීෂා දිල්හාරි 79, ඉමේෂා දුලානි 37, විහාරා සෙව්වන්දි 27, සඳනි දෙදුවක්කුමාර 2/27, ශකිලා ප්‍රේමරත්න 2/32.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B – 173/10 (49.1): මල්කි මදාර 81, ශකිලා ප්‍රේමරත්න 15, සචිනි නිසංසලා 3/17, සුලේෂා සත්සරණී 3/35.

සීනිගම ක්‍රිකට් සමාජයට ලකුණු 12ක ජයක්

යුද හමුදා ක්‍රීඩා සමාජ B සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය – කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

යුද හමුදා ක්‍රීඩා සමාජ B – 154/7 (50): අයේෂා චන්ද්‍රසිරි 56, සඳනි ද සිල්වා 27, නිමාෂා මදුශානි 2/18.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 70/10 (38): කෞශනී නුත්‍යන්ගා 16, සඳනි ද සිල්වා 4/15, අශිනි සමින්දි 2/06.

යුද හමුදා ක්‍රීඩා සමාජ B කණ්ඩායමට ලකුණු 84ක ජයක්

තරගාවලියේ ඉදිරි තොරතුරු සහ දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<