‘ජෝති’ නම් අප නොදත් ක්‍රිකට් ප්‍රේමියා!

1180
ජනක රත්නායක සහ අයෝම ජයසිංහ මහත්වරුන්ට ස්තූතිය.
ජනක රත්නායක සහ අයෝම ජයසිංහ මහත්වරුන්ට ස්තූතිය.

එච්. ආර් ජෝතිපාල කියන නම ඇහුවාම අපිට මතකයට එන්නේ ශ්‍රී ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය ගායකයෙක්. ජෝති මිය ගිහින් අවුරුදු තිස් පහකට කිට්ටු වෙලත් ඔහුගේ ජනප්‍රියත්වයට කිසිම හානියක් හෝ අඩුවක් පාඩුවක් වෙලා නෑ. අදටත් වෙඩිමක, පාටියක, සෙට් වීමක හෝ රියලිටි ෂෝ එකක ජෝතිගේ සිංදුවක් අනිවාර්යයෙන්ම කියවෙනවා.

හින්දි තනුවලට සිංහල පද යොදා ගීත ගායනා කිරීම නිසා ජෝතිගේ ගීත ප්‍රබුද්ධ ඝනයේලා සැලකීමට ඒ කාලයේ විචාරකයින් මැලිකමක් දැක්වූවා. නමුත් සමාජයේ පීඩිත පහළ ස්ථරයන් හොඳින් ස්පර්ශ කළ අයෙකු ලෙසයි ජෝති සැලකෙන්නේ. ඔහුගේ නමේ මුලකුරු එච්. ආර් යන්න යොදාගනිමින් ‘හදවත රත්තරං ජෝති’ යන්න බොහෝ දෙනා භාවිතා කළේ ගායකයෙකුට අමතරව ජෝතිපාල ඇතුළේ සිටි මානවහිතවාදී මිනිසා නිසායි.

එක්තරා කාලයක මගේ කාර්‍යාලයේ සමීප සගයෙක් වෙච්ච රැන්ඩි වික්‍රමසූරිය ජෝතිගේ ජීවිතයේ සංගීතය තරම්ම හෝ ඊටත් වඩා ප්‍රිය කළ තවත් පැත්තක් ගැන කිව්වා.

 “කංචන දන්නවා ද ජෝතිපාල කියන්නේ නියම ක්‍රිකට් පිස්සෙක්. ඉස්සර ක්‍රිකට් මැච් එකක් වරද්දන්නේ නෑලූ. අපේ තාත්තා ඒ කාලේ කෝල්ට්ස් ටීම් එකට ගැහුවනේ. එයා නම් මේ ගැන ගොඩාක් විස්තර දන්නවා. මම දවසක තාත්තාව සෙට් කරලා දෙන්නම්. “

ජෝති කියන අපේ පරම්පරාව වැඩිය අහලා නැති ක්‍රිකට් රසිකයා ගැන මොනවා හරි ලියන්නම ඕන කියල එදාම හිතා ගත්තත් දවසින් දවස ඒ වැඩේ කල් ගියා.

ළඟදි දවසක මගේ මිත්‍රයාගේ තාත්තා ඒ කියන්නේ රැල්ස්ටන් බර්ක් මහත්මයාව සම්බන්ධ කරගන්න මට පුළුවන් වුනා ජෝති ගැන අහන්න.

මම මේ කියන්නේ 1974/75 කාලේ ගැන. එතකොට මම කෝල්ට්ස් ටීම් එකට සෙල්ලම් කරන්නේ.

මයික් චන්මුගම් තමයි මුලින්ම ජෝතිව කෝල්ට්ස් ක්ලබ් එකට එක්කගෙන ආවේ. එහෙම ආපු ජෝතිට වැඩේ අල්ලලා ගියා. පස්සේ ජෝතිට ඕන වුනා කෝල්ට්ස් ක්ලබ් එකේ මෙම්බර්ෂිප් ගන්න.

ඒ කාලේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ හිටපු සමහර ලොක්කෝ ජෝති කෝල්ට්ස් එකට එනවට කැමති වුනේ නෑ. ඒත් මයික් ලේසියෙන් වැඩේ අතෑරියේ නෑ. ජෝතිට කෝල්ට්ස් එකේ මෙම්බර්ෂිප් එක අරන් දීලාම තමයි පස්ස බැලුවේ.

ඊට පස්සේ ජෝති කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට නැතිවම බැරි සාමාජිකයෙක් වුනා.

ඡායාරූපය 1972 වසරේ මැයි මස ගුවන් විදුලි ගායක ගායිකාවන් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර පැවති ක්‍රිකට් තරගයේ දුර්ලභ දසුනක්. මෙම ඡායාරූපයේ කේ.ඩී.කේ ධර්මවර්ධන, ෆ්‍රෙඩී සිල්වා, එච්. ආර් ජෝතිපාල සහ අධ්‍යක්ෂක ජනරාල් සුසිල් මුණසිංහ ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙනවා. කඩුලු රැකීමේ යෙදෙන්නේ අපේ කතානායක එච්. ආර් ජෝතිපාල.
ඡායාරූපය වෙනුවෙන් ස්තුතිය: අයෝම ජයසිංහ මහතාට.

මේ කාලේ ජෝතිට ගායකයෙක් විදියට පුදුමාකාරයේ ඉල්ලුමක් තිබුණා. තමන්ට කොච්චර ඉල්ලුමක් තිබුනත් සති අන්තවල තිබුණ මියුසිකල් ෂෝස් පවා කැන්සල් කරන් කෝල්ට්ස් ගහන මැච් බලන්න එනවා ජෝති ග්‍රවුන්ඩ් එකට එනවා මට අදටත් හොඳටම මතකයි.

රසිකයින් වෙන අපිට ලස්සන කටහඬින් සිංදු කියනවා ඇහුණට ජෝතිට තිබුණේ තරමක් රළු අපැහැදිලි, ගොරහැඬි කටහඬක්. ජෝති කෑ ගහල චියර් කරන කොට ඈත තියා ඒක පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. එහෙම චියර් කරමින් කෑගහන කොට ග්‍රවුන්ඩ් එකට එන්නත් කළින්ම අපි දැන ගන්නවා අද ජෝති ඇවිල්ලා ඉන්නේ කියල.

කෝල්ට්ස් මැච් එක දිනුව ද පැරදුණා ද, ප්‍රතිඵලය ජෝතිට කොහෙත්ම අදාල නෑ එයා චියර් කර කර දවස් දෙකේම ග්‍රවුන්ඩ් එකේ. ක්‍රිකට් සහ කෝල්ට්ස් එක්ක ජෝතිට තිබුණේ එහෙම බැඳීමක්.

ඔහොම චියර් කර කර ඉන්න අතරේ ඩ්‍රෙසිං රෑම් එක පැත්තට ගිහින් ක්‍රීඩකයින්ට සොෆ්ට් ඩ්‍රින්ස් ගෙනැල්ලා දෙන්න, වෙන වෙන අඩුපාඩු මොනවත් තියනවා ද කියල හොයන්නත් ජෝති අමතක කළේ නෑ.

එහෙම චියර් කරන්න එන දවසට ජෝති ගානේ තමයි අපිට ලන්ච් ලැබෙන්නෙත්. මැච් එකක් දිනුවොත් හවසට ජෝති ගානේ අපිට බෝතල් පාටියකුත් ෂුවර්.

අපි ඉතින් පාටි එකට ඉඳල රෑට තියන අන්තිම බස් එකේ නැගල ගෙදර එනවා. ඒ දවස්වල අපිට කියල වාහන තිබුණේ නෑ. ඒ කාලේ රටේ හැමෝටම අමාරුයි. ක්‍රිකට් බෑග් එකත් උස්සන්, කොන්දොස්තරලාගෙන් කැත විදියට බැනුම් අහගෙන බස් එකේ තමයි යන්නේ එන්නේ. ගේම් එකට තිබුණ ආසාවට, ආදරේට තමයි අපි ඒ දවස්වල ක්‍රිකට් ගැහුවේ. අද වගේ ක්‍රිකට් වල වෘත්තීයමය බවක් තිබුණෙත් නෑ. වෙන රස්සාවකුත් කරන ගමන් තමයි ක්‍රිකට් ගැහුවේ.

ජෝති, ඩයිහාඩ් කෝල්ට්ස් සපෝර්ටර් කෙනෙක් වුනාට ජෝතිගේ තාත්තා සපෝර්ට් කළේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට.

ඒ කාලේ අපි ගහන ක්ලබ් මැච් එකක් බලන්නත් සෙනග වැහිවැහලා. ලේසියෙන්ම ඒ කාලේ ජාතික කණ්ඩායමට සමාන කණ්ඩායමක් හෝ දෙකක් ක්ලබ්වලින් එකතු කරලා හදා ගන්න කිසිම අවුලක් තිබුණේ නෑ. පුදුම තරගයක් තිබුණේ. ෆෑන්ස්ලත් එහෙමයි. මැච් එකක් දිනුවාම ෆෑන්ස්ලා එකතු වෙලා ප්ලෙයර්ස්ලාව කරේ තියන් යන්නේ.

පුංචිම කාලේ රැන්ඩි අම්මා අතේ එල්ලිලා එනවා කෝල්ට්ස් ටීම් එක ගහන මැචස් බලන්න. එයාට සහ එහෙම එන අනිත් පොඩි අයට චොක්ලට්, ටොෆී, සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ දේවල් ගෙනැත් දෙන්නත් ජෝති කවදාවත් අමතක කරන්නේ නෑ.

ජෝතිට ක්‍රිකට් ගැන තිබුණ බැඳීම ගැන කියද්දී අමතක නොවන කාරණාවක් තියනවා. මේක ඔයා ලියන්නම ඕන කතාවක්.

රෝයි ඩයස් ගැහුවේ කෝල්ට්ස් වලටනේ. මේ කතාව වෙන්නේ රෝයි කසාද බැඳපු දවස්වල. ජෝති අහල තියනවා රෝයිගෙන් වෙඩිං එකේ ඉදිරි වැඩ කටයුතු කොහොමද කරන්න හිතන් ඉන්නේ කියල. ජෝති එහෙම ඇහුවේ ඉතින් හනිමුන් යන එක ගැන තමයි.

රෝයිට ඒ කාලේ තිබුණේ බයික් එකක්. ජෝති ඒක දැනගෙන හිටියා. ඒ දවස්වල ජෝති ගාව මට මතක විදියට බෙන්ස් එකක් තිබුණේ. ජෝති ඒ වෙලාවෙම වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ලෑස්ති කරල, ෆුල් ටෑන්ක් තෙල් ගහලා, සතියකට හමාරකට හරියන්න ඩ්‍රයිවර් අතට සල්ලිත් දීලා ඇති තරම් විනෝද වෙලා එන්න කියල බෙන්ස් එක දුන්නා රෝයිට.

ජෝති කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට නිර්ව්‍යාජ ලෙස ආදරය කරපු හරිම සරල, නිරහංකාර පොළොවේ පය ගහල හිටපු මනුස්සයෙක්.”

1982 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගය බලන්නට ජෝති, ඔහු සේම ක්‍රිකට් පිස්සුව උග්‍ර මිල්ටන් මල්ලවආරච්චි සමඟ පී. සරවනමුත්තු පිටියට පැමිණ සිටි බවකුත් පහුගිය දිනෙක මට දැනගන්නට ලැබුණා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<