සාන්ත ජෝසප් – රාජකීය තරගයේ වැඩි ගෞරව රාජකීයයට

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1964

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරග කිහිපයක් අදත් (09) ක්‍රියාත්මක වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – රාජකීය ක්‍රීඩාංගණය

125 වැනි වරට පැවැත්වෙන මේ වාර්ෂික ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. සාන්ත ජෝසප් විද්‍යාලය පළමු දිනය තුළ කඩුලු 3ක් දැවී ලකුණු 32ක් රැස් කර ගත් අතර පළමු දිනයේ බොහෝ පන්දුවාර ප්‍රමාණයක් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ක්‍රියාත්මක කිරීමට හැකියා වුනේ නැහැ.

කෙසේ නමුත් අද දිනයේ දී තවත් ලකුණු 99ක් ලබා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 131ක් වාර්තා කරගෙන සිය පළමු ඉනිම අත්හිටවූවා.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක ඩෑන් පොඩ්ඩිවෙල කඩුලු 3ක් දවා ගන්නා විට සංදේශ් රාමනායක සහ නායක ගිශාන් බාලසූරිය අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම දියත් කළ රාජකීය විද්‍යාලය දෙවැනි සහ අවසන් දිනයේ නිමාව සටහන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 240ක් රැස් කරගෙන පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තා. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන සිනෙත් ජයවර්ධන (ලකුණු 53) සහ අශේන් ගමගේ (ලකුණු 37) ලකුණු 70ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ඊට අමතරව රාජකීය මැදපෙළ සවිමත් කළ උවිඳු වීරසේකර (ලකුණු 57*) සහ දසිස් මංචනායක (ලකුණු 54*) නොදැවී අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී ශෙනුක් සේරසිංහ කඩුලු 5ක් දවා ගනිමින් සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දස්කම් අතරට පැමිණියා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ පුත් නරේන් මුරලිදරන් මෙම තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීම කැපී පෙනුණා.

සාන්ත ජෝසප් විද්‍යාලය –  පළමු ඉනිම 131/8d (50.2): හිරාන් ජයසුන්දර 30, මිතිර තෙනුර 26, මුදිත ලක්ෂාන් 22, නරේන් මුරලිදරන් 20, ඩෑන් පොඩ්ඩිවෙල 3/22, සංදේශ් රාමනායක 2/33, ගිශාන් බාලසූරිය 2/37.

රාජකීය විද්‍යාලය –  පළමු ඉනිම 240/7 (67): උවිඳු වීරසේකර 57*, දසිස් මංචනායක 54*, සිනෙත් ජයවර්ධන 53, අශේන් ගමගේ 37, ශෙනුක් සේරසිංහ 5/63.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය 

  • කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මාතර උයන්වත්ත

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් දේවපතිරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 170ක් රැස් කර ගත් අතර එහි දී නායක පවන් සංදේශ් ලකුණු 68ක් වාර්තා කරගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා. තරිඳු රුක්ෂාන් නොදැවී ලකුණු 42*යි.

පන්දු යැවීමේ දී වනිත් ද සිල්වා සහ ප්‍රමෝද් නවීන් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දේවානන්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 146ක් වාර්තා කරගෙන හොඳ ස්ථාවර මට්ටමක සිටියා.

එහි දී කාංචන ද ලිවේරා නොදැවී ලකුණු 66*ක් රැස් කරගෙන කඩුල්ලේ රැඳී සිටින අතර පන්දු 52ක දී වර්ණවත් වුනු ඔහුගේ වේගවත් ඉනිමට 4 පහර 10ක් සහ 6 පහරක් ඇතුළත් වුනා. ශෙහාන් වික්‍රමසිංහ ලකුණු 49යි.

දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම 170 (45.4): පවන් සංදේශ් 68, තරිඳු රුක්ෂාන් 42*, චවිඳු අචින්ත 30, විහඟ මලිත් 2/17, වනිත් ද සිල්වා 2/19, ප්‍රමෝද් නවීන් 2/31.

දේවානන්ද විද්‍යාලය – පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) 146/3 (25): කාංචන ද ලිවේරා 66*, ශෙහාන් වික්‍රමසිංහ 49, පුල්ජිත් වත්සුක 2/21.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<