ජෙහාන් ඩැනියෙල් Sebastianites අමාරුවේ දමයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය 2022

343

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දෙවැනි දිනය (09) නිමා වෙන්නේ Colts කණ්ඩායමේ ජෙහාන් ඩැනියෙල්ගේ දක්ෂතා කරළියට එමින්.

කොළඹ P. Sara Oval පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ ආරම්භක දිනයේ දී වර්ෂාව හේතුවෙන් පැයකටත් අඩු කාලයක් පැවතිය ද, දෙවැනි දිනයේ දී කඩුලු 25ක් බිඳ වැටීම කැපී පෙනුණා. ඉන් කඩුලු 7ක්ම දකුණතින් මද වේගපන්දු යවන 22 හැවිරිදි ජෙහාන් ඩැනියෙල් සතු වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Sebastianites ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 142ක් වාර්තා කර ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු සඳුන් ප්‍රනාන්දු. ඔහු පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් රැස් ගත්තා.

ඔහු විහාන් ගුණසේකර (13) සමඟ දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 56 ඉනිමේ හොඳම සබඳතාවයි.

පන්දු යැවීමේ දී රොහාන් සංජය සහ කවිශ්ක අංජුල කඩුලු 3 බැගින් දවා ගත් අතර ඩිල්ශාන් මධුශංක සහ ජෙහාන් ඩැනියෙල් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colts කණ්ඩායම ලකුණු 113කට සීමා කිරීමට  Sebastianites පන්දු යවන්නන් සමත් වුනා. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මුදිත ලක්ෂාන්. ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් වාර්තා කරගත්තා.

ඊට අමතරව නායක ජෙහාන් ඩැනියෙල් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් රැස් කරගත්තා. ඉනිම අවසන් වන විට කවිශ්ක අංජුල පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 16ක් වාර්තා කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී තරිඳු රත්නායක ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත් අතර Tehan Schaffter සහ තරූෂ ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 29ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි Sebastianites තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 53ක් වාර්තා කරගෙන සිටියා. ඔවුන්ගේ මේ කඩුලු 6 බිඳ දැමීමට Colts පන්දු යවන්නන් වැය කළේ පන්දු 63ක් පමණයි.

Sebastianites ඉනිමේ කඩුලු 5ක් ලකුණු 27ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ජෙහාන් ඩැනියෙල් සමත් වුනා. ඔහු මේ වෙනුවෙන් වැය කළේ පන්දු 31ක් පමණයි. අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය ඩිල්ශාන් මධුශංක සතු වුනා.

Sebastianites දෙවැනි ඉනිම වෙනුවෙන් නායක තරුෂ ප්‍රනාන්දු පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් වාර්තා කර ගත් අතර ලහිරු ප්‍රනාන්දු ලකුණු 19ක් වාර්තා කරගත්තා. අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ඉලක්කම් දෙකේ ලකුණු අතරට පැමිණිමට හැකි වූයේ නැහැ.

දිනය අවසන් වන විට විහාන් ගුණසේකර (01) සහ විමුද් සප්නක (02) නොදැවී පිටියේ රැඳී සිටිනවා. මේ වන විට Sebastianites ක්‍රීඩකයන් Colts කණ්ඩායමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසු වෙනවා. හෙට (10) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.

Sebastianites – පළමු ඉනිම සියලු දෙනා දැවී 142 (43.1): සඳුන් ප්‍රනාන්දු 46, ලහිරු ප්‍රනාන්දු 28, කවිශ්ක අංජුල 3/20, රොහාන් සංජය 3/09, ඩිල්ෂාන් මධුශංක 2/51, ජෙහාන් ඩැනියෙල් 2/36.

Colts – පළමු ඉනිම සියලු දෙනා දැවී 113 (34.3): මුදිත ලක්ෂාන් 35, ජෙහාන් ඩැනියෙල් 31, තරිඳු රත්නායක 4/34, Tehan Schaffter 3/25, තරූෂ ප්‍රනාන්දු 3/44. 

Sebastianites – දෙවැනි ඉනිම (තරගය දෙවැනි දිනයට නතර කරන විට) කඩුලු 6ක් දැවී 53 (10.2): ලහිරු ප්‍රනාන්දු 19, තරූෂ ප්‍රනාන්දු 24, ජෙහාන් ඩැනියෙල් 5/27.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<