මහනුවර ක්‍රීඩකයන් ලකුණු 269ක් ඉදිරියෙන්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1389

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය වූ අද (08) දවස නිමා වන විට යාපනය කණ්ඩායමට එරෙහිව මහනුවර ක්‍රීඩකයන් ලකුණු 269ක් ඉදිරියෙන් පසු වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 444ක් වාර්තා කර ගත්තා. ඊට පිළිතුරු ලෙසින් යාපනය කණ්ඩායම තම පළමු ඉනිමට රැස් කරගැනීමට සමත් වුනේ ලකුණු 227ක් පමණයි. මේ වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන මහනුවර කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 52ක් වාර්තා කරගෙන සිටිනවා.

පෙර දිනයේ තම පළමු පෙළ ක්‍රිකට් තරගවල හොඳම පන්දු යැවීම වාර්තා කළ යාපනය කණ්ඩායමේ දිලුම් සුධීර අද (09) පිතිකරුවෙකු ලෙසින් ද දක්ෂතා දැක්වීම කැපී පෙනුණා. ඊට අමතරව මහනුවර කණ්ඩායමේ දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය දවසේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වුනා.

යාපනය පළමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් රැස් කරගත්තා. එය ඔහු මෙම තරග වාරයේ වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකයයි.

ඔහුට අමතරව දිලුම් සුධීර පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 49ක් රැස් කරගත්තා. නායක ධනංජය ද සිල්වා වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 30ක්.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 100කට කඩුලු 4ක් දවා ගත් අතර අශේන් ඩැනියෙල් කඩුලු 3ක් ද, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් ද සහ පුලින තරංග එක් කඩුල්ලක් ද දවා ගත්තා.

තවත් ලකුණු 217ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ මහනුවර ක්‍රීඩකයන් අයහපත් කාලගුණ තත්ත්වය මත තෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 52ක් වාර්තා කරගෙන සිටියා.

ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 31ක් වන විටයි. ඉන් ලකුණු 26ක්ම දැවී ගිය කමිල් මිෂාර සතු වුනා. කසුන් විදුර (16) සහ ඕෂඳ ප්‍රනාන්දු (9) මේ වන විට කඩුල්ලේ නොදැවී රැඳී සිටිනවා. මහනුවර කණ්ඩායමේ දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය දිලුම් සුධීර සතු වුනා.

මහනුවර – පළමු ඉනිම සියලු දෙනා දැවී 444 (131.2): කමිල් මිෂාර 56, කසුන් විදුර 71, ඕෂඳ ප්‍රනාන්දු109, කමිඳු මෙන්ඩිස් 87, නිරෝෂන් දික්වැල්ල 32, පුලින තරංග 43, ධනංජය ද සිල්වා 3/96, දිලුම් සුධීර 4/86, ජෙෆ්රි වැන්ඩර්සේ 2/97.

යාපනය – පළමු ඉනිම සියලු දෙනා දැවී 227 (89.1): නිශාන් මධුශ්ක 57, දිලුම් සුධීර නොදැවී 49, ධනංජය ද සිල්වා 30, ලසිත් ඇඹුල්දෙණිය 4/100, අසිත ප්‍රනාන්දු 2/25, අශේන් ඩැනියෙල් 3/89.

මහනුවර – දෙවැනි ඉනිම (තෙවැනි දිනයට තරගය නතර කරන විට) කඩුල්ලක් දැවී 52 (15): කමිල් මිෂාර 26.

හෙට (10) තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

                                     >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<