අරවින්ද මගේ පෑන හොරකම් කළා!

6511

ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඇත්තන්ට ඊට කළින් පරම්පරාවල ඇත්තන් ක්‍රීඩා කළ හෝ ක්‍රීඩා කරන ආකාරය විශාල උත්තේජනයක් සපයන බව නොරහසකි.

අපිට කලින් පරම්පරාවට බන්දුල වර්ණපුරලා, දුලිප් මෙන්ඩිස්ලා, රෝයි ඩයස්ලා, රංජන් මඩුගල්ලේලා උත්තේජනයක් ගෙන ආවා සේම අපේ පරම්පරාවට අර්ජුන රණතුංගලා, අරවින්ද ද සිල්වාලා, සනත් ජයසූරියලා, රොෂාන් මහානාමලා, චමින්ද වාස්ලා, මුත්තයියා මුරලිදරන්ලා නිබඳවම උත්තේජනය සැපයුවෝය. කුමාර් සංගක්කාරලා, මහේල ජයවර්ධනලා, ලසිත් මාලිංගලා තවත් පරම්පරාවකට ජීවය සැපයූහ.

වීරයන් බිහි විය යුතුය. වීරයෙක් වීමට දේශ සීමා, අනෙකුත් වැටකඩොලු ප්‍රශ්නයක් නොවිය යුතුමය. අද  අප ඔබ වෙත ගෙන එන්නේ එවන් දේශ සීමාවලින් ඔබ්බට ගිය කතාන්දරයකි.

Tailenders යනු BBC 5 Live නාලිකාවේ විකාශය වන අපූරු වැඩසටහනකි. මෙම වැඩ සටහන මෙහෙය වනු ලබන්නේ ග්‍රේග් ජේම්ස් සහ ෆීලික්ස් වයිට් විසිනි. මේ වැඩසටහන අතරතුර ග්‍රේග් ජේම්ස් විසින් කිසියම් ලෝ පතල අයෙකුගේ ලද චරිතාපදානයකින් කොටසක් ප්‍රේක්ෂකයා වෙනුවෙන් කියවනු ලබයි.

2019 වසරේ එක්තරා දිනෙක ඔවුන්ගේ වැඩසටහනට අපූරු කතාන්දරයක් එක් කොට තිබුණි. ඒ කතාව ලෝ ප්‍රකට ක්‍රීඩකයෙකුගෙන් අත්සනක් ලබා ගන්නට ආ අට හැවිරිදි පොඩි හාදයෙකු ගැන කතාන්දරයකි.

දිනක් මම ටෝන්ටන් ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් නැරඹීමට ගියා. එතකොට මට වයස අවුරුදු අටක් විතර ඇති.”

මේ කුඩා දරුවා මතකය අවදි කරන්නේ 1999 ලෝක කුසලානයේ එවකට ලෝක ශූරයින් වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෝන්ටන් ක්‍රීඩාංගණයේ පැවති මූලික වටයේ තරගය ගැන විය යුතුය.

1996 විල්ස් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වා ඒ අවස්ථාවේ පන්දු රකිමින් සිටියේ ෆයින් කලාපයේය.

ශ්‍රී ලංකා උපනායක අරවින්ද ද සිල්වා සහ නායක අර්ජුන රණතුංග ලෝක කුසලානය අතැතිව. ඡායාරූපය: ප්‍රවීණ මාධ්‍යවේදී රංජන් පරණවිතානගේ විජයග්‍රහණය කෘතියෙන්.
ශ්‍රී ලංකා උපනායක අරවින්ද ද සිල්වා සහ නායක අර්ජුන රණතුංග ලෝක කුසලානය අතැතිව. ඡායාරූපය: ප්‍රවීණ මාධ්‍යවේදී රංජන් පරණවිතානගේ විජයග්‍රහණය කෘතියෙන්.

“මම දුටුවා අරවින්ද ද සිල්වා ෆයින් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටිනවා. මමත් අනෙක් දරුවන් මෙන් ඔහුගෙන් අත්සනක් ගැනීමේ බලාපොරොත්තුවෙන් පෝළිමකට එකතු වුනා.

මගේ වාරය එළඹෙන තෙක් මම ඉවසීමෙන් බලා සිටියා. අවසානයේ මා බලා සිටි ඒ මොහොත උදා වුනා.

මම ඔහුට මගේ අතේ තිබූ පෑන දිගු කළා. එවෙලේ පන්දු යවන්නා ඔහුගේ සීමාවේ සිට පන්දු යැවීමට දිව එමින් සිටියේ. අරවින්ද එය දුටුවා.

හදිස්සියේම මගේ පෑන සාක්කුවේ දමා ගත් අරවින්ද සිය පන්දු රැකීමේ ස්ථානයට දිව ගියා.

පිතිකරුවා එක් ලකුණක් සඳහා පැති මාරු කරගත්තා. එවෙලේ දකුණත් සහ වමත් පිතිකරුවෙකු පන්දුවට පහර දෙමින් සිටි නිසා අරවින්දට පිටියේ වෙනත් ස්ථානයකට පන්දු රකින්නට යෑමට සිදු වුනා.

මට කවදාවත් අරවින්දගේ සමරු අත්සන හෝ මගේ පෑන නැවත ලැබුණේ නැහැ.

එදා සවස් වරුවම මම ගත කළේ හැඬූ කඳුලින්.”

ජෝස් බට්ලර් ලෝක කුසලානය අතැතිව ©Getty Images

ජෝස් බට්ලර් නම් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන්නා වූ සුපිරි ක්‍රීඩකයා Tailenders වැඩසටහනට එවා තිබුණේ තම කුඩා කාලයේ අමතක කළ නොහැකි අත්දැකීමකි.

මේ කතාව එතනින් නිමා වන්නේ නැත. කතාවේ දෙවැනි කොටස වඩාත් රසවත්ය.

පස්සේ පහු දිනක Tailenders වැඩසටහන සමඟ තවත් අපූරු අමුත්තෙකු සම්බන්ධ විය.

මම මුලින්ම ජොස්ගෙන් සමාව ඉල්ලන්න ඕන ඔහුගේ පෑන රැගෙන ආවාට. ඒ වගේම මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට සුබ පතන්නත් ඕන.

ඇත්තටම මම ඔහුට කනගාටුව ප්‍රකාශ කරන ගමන් කියන්න ඕන මම ඔහුගේ රසිකයෙක් කියල. ඇත්තටම මගේ පුතාලා මටත් වඩා ඔහුගේ රසිකයින්.

මම ජොස් එක්ක පොඩි ගනුදෙනුවකට කැමතියි. මම ඔහුගේ පෑන සමරු අත්සනක් සමඟ නැවත බාර දෙන්න කැමතියි. හැබැයි ඔහු මගේ පුතාලාට ඔහුගේ අත්සන ලබා දිය යුතුයි.”

Tailenders වැඩසටහන මෙහෙයවන්නන්ගෙන් අමුත්තාට දැන් ප්‍රශ්නයකි.

ඔබට පුතාලා කී දෙනෙක් ඉන්නවා ද?”

“තුන්දෙනයි”

අරවින්ද ද සිල්වා නම් වූ එම අමුත්තා ඔහුට සුපුරුදු නිවුණු හඬින් ප්‍රකාශ කළේය.

අරවින්ද පිළිතුරු දෙන අතරේම වැඩසටහන මෙහෙයවන්නාට කෙටි පණිවිඩයක් ලැබුණි.

අරවින්දට කියන්න ඔහුගේ අත්සන මගේ ලෝක කුසලාන පදක්කමට එහා පැත්තෙන් හැමදාම තියේවි කියල.”

ජොස් බට්ලර් නම් 2019 වසරේ ලෝක කුසලානය දිනා අතිශය උද්දාමයට පත්ව සිටි ජොස් බට්ලර් නම් ඉංග්‍රීසි ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාගේ කෙටි පණිවිඩයේ එලෙස සඳහන් වී තිබුණි.

Tailenders වැඩසටහන මෙහෙයවන්නන් මේ කතාන්දරය තවත් මානයකට ගෙන යමින් ඉකුත් සිදුවීම නිසාම ජෝස් බට්ලර් නම් කුඩා දරුවා මනසින් නොවැටී ලෝකය දිනූ ආකාරය මතක් කර දෙමින් අරවින්ද ද සිල්වා 2019 ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට වක්‍රාකාරයෙන් සහයෝගය දුන් බවත් කියන්නට අමතක නොකළෝය.

2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අගනා ලකුණු 59ක්‍ රැස් කරගන්නට බට්ලර් සමත් විය. එයට අගනා හතරේ පහර හයක් ඇතුළත් විය. බට්ලර්ගේ ලකුණු 59 වාර්තා වූයේ පන්දු 60කිනි.

ලකුණු 86කට කඩුලු 4ක් දැවී ගොස් තිබූ අසීරු මොහොතක බෙන් ස්ටෝක්ස් සමඟ එකතුව පස්වැනි කඩුල්ලට වේගවත් ලකුණු 110ක සබඳතාවයක් ගොඩ නගන්නට බට්ලර් සමත් විය.

නවසීලන්ත කණ්ඩායම දෙසට නැඹුරුව තිබූ තරගය නැවත එංගලන්තය දෙසට හරවන්නට මෙම සබඳතාවයට හැකියාවක් ලැබුණි.

ලකුණු සමව නිමාව දුටු මෙම තරගයේ ලෝක කුසලාන ජයග්‍රාහකයා තේරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරන ලද අතර එය ද ලකුණු සම තත්ත්වයෙන් නිමා විය.

අතිශය උද්වේගකර තරගයක් වූ මෙම තරගයේ සුපිරි පන්දුවාරයේ ලකුණු සමව නිමා කර ගැනීමට නවසීලන්ත කණ්ඩායමේ මාටින් ගප්ටිල් දුවද්දී දවා ගත්තේ ද ජෝස් බට්ලර් විසිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<