යොවුන් විශ්මිගෙන් තවත් ශතකයක්

අන්තර් සමාජ පළමු පෙළ කාන්තා ක්‍රිකට් තරගාවලිය 2022

3180

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් පසුගිය දා (5) පැවැත්වුනා.

එහි දී සීනිගම ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා A කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත් අතර හලාවත මේරියන්ස් කණ්ඩායමේ විශ්මි ගුණරත්න මෙවර තරගාවලිය තුල ලබා ගත් දෙවැනි ශතකය සම්පූර්ණ කරගන්නට සමත් වුනා.

කෙසේ වෙතත් යුද හමුදා B කණ්ඩායමට එරෙහිව හෝමාගම යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවති එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ප්‍රතිඵලයක් රහිතව තරගය නිමාව දුටුවා.

හලාවත මේරියන්ස් සහ යුද හමුදා B – හෝමාගම යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

මේරියන්ස් ක්‍රිකට් සමාජයේ 16 හැවිරිදි විශ්මි ගුණරත්න පන්දු 149ක් තුල නොදැවී ලකුණු 138*ක් සමඟින් ශතකයක් ලබා ගත්තා. එම ශතකය නිසා ඔවුන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 234ක් ලබා ගැනීමට හැකියාව ලැබුණු අතර ජනදි අනාලි සහ චමරි අතපත්තු පළමු කඩුල්ල සඳහා ලකුණු 65ක සබඳතාවයක් ගොඩනැංවූවා. විශ්මිගේ සුපිරි ශතකයට අමතරව සඳලි විජේසිංහ නොදැවී ලකුණු 59*ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

හලාවත මේරියන්ස් – 234/4 (50): විශ්මි ගුණරත්න 138*, සඳලි විජේසිංහ 59*, මදාරා සමරකෝන් 1/33

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්

සීනිගම ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

කවීෂා දිල්හාරි සහ සචිනි නිසංසලා දැක්වූ සුපිරි තුන් ඉරියව් දස්කම් නිසා කෝල්ට්ස් සමාජයට එරෙහිව පැවති මේ තරගයෙන් ලකුණු 183ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට සීනිගම සමාජයට හැකි වුනා.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සීනිගම ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 231ක් ලබා ගත්තා. එහි දී කවීෂා දිල්හාරි පන්දු 78ක දී ලකුණු 68ක් ලබා ගත්තා. සචිනි නිසංසලා ලකුණු 27යි. ශිකාරී ද සිල්වා ලකුණු 24කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා.

පිළිතුරු ඉනිම හඹා ගියා කෝල්ට්ස් ක්‍රීඩිකාවන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 48ක් පමණයි. පන්දු යැවීමේ දී ද කවීෂා සහ සචිනි දෙදෙනාම කඩුලු 4 බැගින් දවාගෙන දස්කම් අතරට පැමිණීම කැපී පෙනුණා.

සීනිගම ක්‍රිකට් සමාජය – 231/9 (50): කවීෂා දිල්හාරි 68, සචිනි නිසංසලා 27, ශිකාරි ද සිල්වා 4/24

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 48 (20.4): කවීෂා දිල්හාරි 4/13, සචිනි නිසංසලා 4/18

සීනිගම ක්‍රිකට් සමාජයට ලකුණු 183ක ජයක්

නාවික හමුදා සහ ගුවන් හමුදා A – වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය දිනූ ගුවන් හමුදාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ගුවන් ක්‍රීඩිකාවන් සියල්ලන්ම දැවී ලකුණු 102ක් ලබා ගන්නා විට, මල්ෂා ශෙහානි ලකුණු 45ක් ලබාගෙන ඔවුන්ගේ ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුනා.

පන්දු යැවීමේ දී තාරිකා සෙව්වන්දි ලකුණු 25කට කඩුලු 4ක් දවා ගන්නා විට, උදේශිකා ප්‍රබෝධනි කඩුලු 2ක් සඳහා හිමිකම් කියනු ලැබුවා.

පිළිතුරු ඉනිම දියත් කළ නාවික හමුදා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 85ක් ලබාගෙන සිටිය දී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නවතා දැමුණා. ඉන් අනතුරුව නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකි වුනු නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 12ක තියුණු ජයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා. පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ ලකුණු 9කට කඩුලු 4ක් දවා ගත්තා.

ගුවන් හමුදා A – 102 (37.3): මල්ෂා ෂෙහානි 45, ඉනෝෂි ප්‍රනාන්දු 21, තාරිකා සෙව්වන්දි 4/25, උදේශිකා ප්‍රබෝධනි 2/16

නාවික හමුදා ක්‍රීඩා සමාජය – 85/9 (38.1): හර්ෂිතා සමරවික්‍රම 26, තාරිකා සෙව්වන්දි 13, ඕෂදී රණසිංහ 4/9, ඉනෝෂි ප්‍රනාන්දු 2/12

ගුවන් හමුදා A කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 12ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<