පංජාබ් පරාජය වුනත් භානුකගෙන් වාර්තාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022

22427

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කර ගැනීමට Kolkata Knight Riders ඊයේ (1) සමත් වුණා. ඔවුන් හමුවේ මුම්බායිහි Wankhede ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ Punjab Kings කණ්ඩායමයි.

Kolkata Knight Riders ආරාධනය ඇතිව පළමුව පන්දුවට පහර දුන් Punjab Kingsට පන්දුවාර 18කුත් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි. එහි දී වමත් පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 9කින් වේගවත් ලකුණු 31ක් රැස් කළ අතර ඔහුගේ එම ඉනිම 4 පහර 3කින් සහ 6 පහර 3කින් වර්ණවත් වුනා.

එහි දී භානුකගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ 344.44ක් ලෙසයි. එය Punjab වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ප්‍රහාරාත්මක වේගය සහිත ඉනිම වීම විශේෂත්වයක්. මීට පෙර හිටපු නායක KL Rahul 2018 වසරේ දී දිල්ලි කණ්ඩායමට එරෙහිව පන්දු 16කින් ලකුණු 51ක් ලබා ගනිමින් අදාල වාර්තාවට හිමිකම් කීවා. ඒ, 318.75ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කරගෙනයි.

Punjab Kings ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනු වේගපන්දු යවන ක්‍රීඩක Kagiso Rabada ලකුණු 25ක් ලබා ගන්නා විට, Liam Livingstone ලකුණු 19කට දැවී ගියා.

යළිත් සුපිරි පන්දු යැවීමක නිරත වූ වේගපන්දු යවන ක්‍රීඩක Umesh Yadav ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා. Tim Southee ලකුණු 36කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kolkata Knight Riders ක්‍රීඩකයින් පන්දුවාර 14කුත් පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටිය දීයි. ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 51ක් තුල බිඳ වැටී තිබූ අවධියක පිටියට පැමිණි Andre Russell පන්දු 31ක් පමණක් වැය කරමින් නොදැවී වාර්තා කළ ලකුණු 70* ප්‍රහාරාත්මක ඉනිම නිසාවෙන් Kolkata Knight Riders ජයග්‍රහණය වේගවත් වුනා. ඔහුගේ එම වර්ණවත් ඉනිම දැවැන්ත 6 පහර 8කින් හා 4 පහර 2කින් අලංකාරවත් වුනා. නායක Shreyas Iyer සහ කඩුලු රකින පිතිකරු Sam Billings පිළිවෙළින් ලකුණු 26ක් සහ ලකුණු 24ක් වාර්තා කර ගත්තා.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක Rahul Chahar ලකුණු 13කට කඩුලු 2ක් බිද හෙලුවා.

Punjab Kings – 137 (18.2): Bhanuka Rajapaksa 31, Kagiso Rabada 25, Umesh Yadav 4/23, Tim Southee 2/36.

Kolkata Knight Riders – 141/4 (14.3): Andre Russell 70*, Shreyas Iyer 26, Sam Billings 24, Rahul Chahar 2/13.

තරගයේ වීරයා – Umesh Yadav

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<