The Hundred ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 22ක්!

The Hundred ක්‍රිකට් තරගාවලිය 2022

8421

එංගලන්තයේ පැවැත්වෙන පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘The Hundred’ තරගාවලියේ දෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft/ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව) සඳහා ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව තරගාවලි සංවිධායකයින් විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මෙවර තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම එළඹෙන 5 වැනිදා සිදු කිරීමට නියමිත අතර ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සඳහා ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 284ක්. ඊට අමතරව දේශීය (එංගලන්ත) ක්‍රීඩකයින් 250 දෙනෙකු ද ඊට ඉදිරිපත් කර තිබෙනවා. එහි සිටින විදෙස් ක්‍රීඩකයින් 284 අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව වනිඳු හසරංග පවුම් 50,000ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 195ක්) මූලික වටිනාකමක් හිමි කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙන අතර ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ද ලියාපදිංචි වී ඇත්තේ එම කාණ්ඩය යටතේ වීම විශේෂයි.

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක පවුම් 40,000ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 156ක්) මූලික වටිනාකමක් සහිත කාණ්ඩයට ඇතුලත්ව තිබෙනවා.

දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ධනුෂ්ක ගුණතිලක, ලසිත් ඇඹුල්දෙණිය, අවිශ්ක ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ලහිරු මදුශංක, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, දුෂාන් හේමන්ත හා ඉසුරු උදාන යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මූලික වටිනාකමක් නොමැතිව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙනවා.

Manchester Originals, Northern Superchargers, Birmingham Phoenix, Trent Rockets, Western Fire, London Spirit, Oval Invincibles, Southern Brave යන කණ්ඩායම් 8 මේ පන්දු 100 ‘The Hundred’ තරගාවලියට එක්වන කණ්ඩායම් වෙනවා.

මෙහි පළමු තරග අදියර පසුගිය වසරේ ජූලි – අගෝස්තු කාලයේ දී පැවැත්වුණු අතර එහි කාන්තා තරගාවලියේ ශූරතාවය Oval Invincibles විසින් දිනා ගනිද්දී, පිරිමි කොටසේ ශූරතාවය දිනා ගත්තේ මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් සමන්විත වුනු Southern Brave කණ්ඩායමයි.

එම මංගල පන්දු 100 තරගාවලියේ මූලික කෙටුම්පත් කිරීමට ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න,

ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, කුසල් ජනිත් පෙරේරා, සීකුගේ ප්‍රසන්න, උපුල් තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 24 දෙනෙක් ලියාපදිංචි වී සිටි නමුත්, එකඳු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් හෝ එහි ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වුනේ නැහැ.

මෙම The Hundred තරගාවලියේ දෙවැනි තරග අදියර මෙම වසරේ අගෝස්තු 3 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා එංගලන්තයේ දී පැවැත්වීමට එහි සංවිධායකයින් දැනට සැලසුම් කර තිබෙනවා.

2022 The Hundred ක්‍රිකට් තරගාවලියේ මූලික කෙටුම්පත් කිරීම් සඳහා ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩකයින් සහ ඒ සඳහා ඔවුන්ට නියමිත අවම ලංසු මුදල පහතින්. (මීට අමතරව තවත් විදෙස් ක්‍රීඩකයින් රැසක් මූලික ලංසු මුදලක් නොමැතිව ලියාපදිංචි වී තිබෙනවා)

  • £125,000 reserve price: Babar Azam, Chris Gayle, Mitchell Marsh, Sunil Narine, Kieron Pollard, Nicholas Pooran, Tabraiz Shamsi, David Warner
  • £100,000 reserve price: Shakib Al Hasan, Quinton de Kock, Jhye Richardson, Andre Russell
  • £75,000 reserve price: Mohammad Amir, Dwayne Bravo, Nathan Coulter-Nile, Aaron Finch, Shadab Khan, Evin Lewis, Riley Meredith, David Miller, Haris Rauf, Imran Tahir, Mujeeb Ur Rahman
  • £60,000 reserve price: Sean Abbott, Finn Allen, Shimron Hetmyer, Sandeep Lamichhane, Aiden Markram, Andile Phehlukwayo, Glenn Phillips, Kane Richardson, Mitchell Santner, Odean Smith, Will Young, Adam Zampa
  • £50,000 reserve price: Kyle Abbott, Ashton Agar, Jason Behrendorff, Alex Carey, Martin Guptill, Simon Harmer, Wanindu Hasaranga, Moises Henriques, Usman Khawaja, Marnus Labuschagne, Shoaib Malik, Ben McDermott, Daryl Mitchell, Colin Munro, Mohammad Nabi, James Pattinson, Josh Philippe, Bhanuka Rajapaksa, Rilee Rossouw, Sherfane Rutherford, Dan Sams, Naseem Shah, D’Arcy Short, Logan Van Beek, Matthew Wade
  • £40,000 reserve: Qais Ahmad, Nathan Ellis, Matt Henry, Josh Inglis, Chris Lynn, Shan Masood, Thisara Perera, Wahab Riaz, Dasun Shanaka, Romario Shepherd, Lendl Simmons, Dane Vilas, Imad Wasim

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<