සංගාගේ අවසන් ටෙස්ට් සාදයට රාහුල් හා කෝලි ඊයේම සැරසෙති

114

ලෝකේෂ් රාහුල් හා ඉන්දීය නායක කෝලි විසින් ගොඩනඟන ලද සවිමත් අඩිතාලමත් රෝහිත් ෂර්මාගේ ආක්‍රමණශීලී පිතිහරඹයත් හේතුවෙන් ශ්‍රී ලංකා-ඉන්දීය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6කට ලකුණු 319ක් ලබා සිටියේය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් රාහුල් හා ඉන්දීය නායකයා විසින් තබන ලද ලකුණු 164ක සබඳතාව හේතුවෙන් පළමු ඉනිමේදී ස්ථාවර ලකුණු සංඛ්‍යාවකට අවස්ථාව ඉන්දියාවට ලැබුණු අතර, ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත්වූ රාහුල් විනාඩි 268ක් කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 108ක් රැස්කළේය.

කොළඹ පී. සරවනමුත්තු පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මුරලි විජේ කිසිදු ලකුණක් ලබාගැනීමට පෙර ධම්මික ප්‍රසාද්ගේ පළමු ගොදුර බවට පත්විය.
ඉන් අනතුරුව නැවත ක්‍රියාත්මක වූ ප්‍රසාද් දෙවැනි කඩුල්ල ලෙස පිටියට පැමිණි රහනේටත් වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ ලබා නොදෙමින් ඔහු ලකුණු 4කට දවාගැනීමත් සමඟ තරගයේ පාලනය ශ්‍රී ලංකාව ලබාගත් බව පෙනුණි.

එහෙත් රහනේගේ දැවී යෑමෙන් අනතුරුව කණ්ඩායම වැටී සිටි අවදානම තේරුම් ගත් ඉන්දීය නායකයා ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සමඟින් ස්ථාවර ඉනිමක් ගොඩනැංවීම සඳහා මුල පුරමින් සිටියදී ලකුණු 11ක් ලබා සිටි රාහුල්ගේ උඩපන්දුව ගලී හි පන්දු රකිමින් සිටි ජෙහාන් මුබාරක් අත්හරිනු ලැබීමේ වාසනාව හිමිකරගත් රාහුල් දිගු ඉනිමක් සඳහා මංමාවත් සකසා ගත්තේ තරගයේ 8 වැනි පන්දුවාරය යැවූ දුෂ්මන්ත චමීර අවාසනාවන්ත පන්දු යවන්නකු බවට පත්කරමිනි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිතිහරඹයක් දියත් කළ කෝලි හා රාහුල් සෙමින් සෙමින් ඉන්දීය ලකුණු සංඛ්‍යාව ඉහළට දමද්දී මැතිව්ස්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේ කෝලි ලකුණු 78කට දැවී යන විට තෙවැනි කඩුල්ල සඳහා රාහුල් සමඟ ලකුණු 164ක සම්බන්ධතාවක්ද එක්කර තිබිණි.
විනාඩි 178ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 107කට මුහුණ දුන් කෝලි ඒ සඳහා හතරේ පහර 8ක් හා හයේ පහරක්ද එල්ල කළේය. කෝලිගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි රෝහිත් ෂර්මා මුලින් තැන්පත් බවක් පෙන්නුවද රංගන හා තරිඳු කෞෂාල්ගේ පන්දු හමුවේ මඳක් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්වමින් සීමාවෙන් ඉදිරියට පැමිණ පන්දුවට පහර දුන්නේය.

එම උත්සාහය සාර්ථක කරගත් ෂර්මා ලැබූ අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය බවටද පත්විය.
ෂර්මාගේ ඉනිම සීමා කිරීමට කිසිදු පන්දු යවන්නෙකුට නොහැකි වූ අවස්ථාවේදී දිනයේ අවසන් පන්දුවාර කිහිපයේදී පන්දුව අතට ගත් ශ්‍රී ලංකා නායකයා ශ්‍රී ලංකාවට අවශ්‍යම කඩුල්ලක් බවට පත්වූ ෂර්මාගේ කඩුල්ල දවාගත්තේය.
පන්දු 132කට මුහුණ දී ලකුණු 79ක් ලැබූ ෂර්මාගේ ඉනිම හතරේ පහර 5කින් හා හයේ පහර 3කින් වර්ණවත් වී තිබිණි.
දිනය නිමා වනවිට රිද්දිමන් සහා නොදැවී ලකුණු 19ක් ලබා සිටී. අද තරගයේ දෙවැනි දිනයයි.

 

ලකුණු පුවරුව
ඉන්දියාව පළමු ඉනිම
මුරලි විජේ ක.මු.ක. ප. ප්‍රසාද් 00
ලෝකේෂ් රාහුල් ඇ. චන්දිමාල් ප.චමීර 108
අජින්ක්යා රහනේ ඇ. කරුණාරත්න ප. ප්‍රසාද් 04
විරාත් කෝලි ඇ.මැතිව්ස් ප. හේරත් 78
රෝහිත් ෂර්මා ක.මු.ක. ප. මැතිව්ස් 79
ස්ටුවර්ට් බිනී ඇ. චමීර ප. හේරත් 10
රිද්දිමන් සහා නොදැවී 19

පන්දු යැවීම – ධම්මික ප්‍රසාද් 20-5-72-2,
රංගන හේරත් 21-2-73-2, මැතිව්ස් 10.2-4-17-1,
දුෂ්මන්ත චමීර 13-0-59-1