වසීම් අක්‍රම් ක්‍රිකට් රසිකයකුගේ ප්‍රශ්නයකින් කෝප ගනී!

1996 Cricket world cup

557

පාකිස්තානය විසින් බිහි කළ හිටපු සුපිරි වේගපන්දු යවන්නකු වන Wasim Akram 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට ක්‍රීඩා නොකිරීම පිළිබඳ එදා මෙන්ම වසර විසි හයකට පසුව අදටත් විවිධ කට කතා පැතිරෙනවා.

හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයා එදින තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු 15කට පමණ පෙර ආබාධයක් හේතුවෙන් තරගයට ක්‍රීඩා නොකරනු ඇති බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් තම පරම ප්‍රතිවාදීන් වන ඉන්දියාවට එරෙහි තරගයට Akram ක්‍රීඩා නොකිරීම විවිධ ආකාරයේ අනුමාන කිරීම් රැසකට තුඩු දෙන ලදි. එය වඩාත් පැහැදිලි වන්නේ එවකට කණ්ඩායමේ නායකයාව ද සිටි Akram විසින් එම තරගයට සහභාගී නොවීමේ ආන්දෝලනාත්මක සිදු වීම එදා මෙන්ම වසර 26කට පසු අදටත් ප්‍රශ්න කිරීම්වලට පාදක වීමෙන්.

A Sports නම් පාකිස්තානු රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් අතරතුර එයට සහභාගී වූ Wasim Akramගෙන් එම සිදු වීම සම්බන්ධයෙන් තනි වාක්‍යයකින් පැහැදිලි කිරීමක් කරන ලෙස ප්‍රේක්ෂක ඉල්ලීමක් ලැබී තිබුණා.

එම ප්‍රශ්නයත් සමඟ මුහුණේ ඉරියව්වල පවා පැහැදිලි වෙනසක් ඇති කර ගත් Akram එම රසිකයාට තරමක් කෝපයෙන් යුත් පිළිතුරක් ලබා දුන්නේ, 96 සිදුවීම පිළිබඳ ප්‍රශ්න කරන බොහෝ දෙනා ඒ වන විට ඉපදී නොසිටි බව ද පවසමින්.

“මට මේ තරුණ පරම්පරාවට කියන්න බොහෝ දේවල් තිබෙනවා..

කවදාවත් කටකතා වලට නම් ඇහුම් කන් දෙන්න යන්න එපා. හරි ද!

ඒ සිද්ධිය වෙද්දී ඔයාලා ඉපදිලාවත් නැහැ, පාකිස්තාන ජාතිකයෙක්ම මගෙන් ඒ ගැන හාරා හාරා අහද්දී මට ලැජ්ජයි.”

Akram පිළිකුලෙන් යුතුව එම ප්‍රශ්නයට පිළිතුරු දීම ඇරඹුවා.

“නවසීලන්තයට එරෙහි තරගයේ දී මම ආබාධයකට ලක් වුනා, ෆයින් ලෙග් හරහා ලකුණු ලබා ගැනීමට ස්වීප් පහරක් එල්ල කරද්දී මගේ ශරීරයේ මාංශ පේෂිවල ඇදීමක් ඇති වුනා. නැවත ඒවා ප්‍රකෘති තත්වයට පත් වීමට සති හයක් ගත වුනා.

ඒ ගැන මාධ්‍යයට දැන ගන්න ඉඩ නොතිබ්බේ, මම ක්‍රීඩා නොකරන බව දැන ගත්තොත් ඉන්දියාවට අනවශ්‍ය මානසික විශ්වාසයක් ඇති වෙන නිසා.”

එම වැඩසටහනටම සහභාගී වූ Waqar Younisගේ නම සඳහන් කරමින් Akram පවසා සිටියේ,  Waqar තමන් ප්‍රතිකාර ලබනා ආකාරය දුටු බවයි.

“තරගය දවසේ උදෑසන Waqar වගේම අනිත් අයත් දැක්කා මම වේදනා නාශක දෙකක් ලබා ගන්නවා. ඒත් ඒවා මගේ ආබාධයට හොඳින් ප්‍රතිචාර දැක්වුවේ නැහැ. මම ඒ ආබාධය එක්ක ක්‍රීඩා කරා නම් මම මීටත් වඩා විවේචනයට බඳුන් වෙන්න ඉඩ තිබුණා. අනිත් දේ මම එදා ක්‍රීඩා නොකළත් අනිත් අය ක්‍රීඩා කළානේ. තරගය පරාජය වුනේ මම ක්‍රීඩා නොකරපු නිසා කියන තර්කයේ තේරුම මොකද්ද?

මම ආබාධයකට ලක් වෙලයි හිටියේ!”

Akram කෝපයෙන් යුතුවම තම පිළිතුර නිමා කළා.

තවත් මෙවැනි උණුසුම් ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<