මුළු ලකුණු අඩු වෙලා 100 ඒවා මොකට ද?

IPL 2023

1309

ඊයේ (15) Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව සිය මංගල IPL ශතකය වාර්තා කිරීමට Gujarat Titans ආරම්භක පිතිකරු Shubman Gill විසින් සමත් වූ නමුත්, ඒ මොහොතේ Gujarat ප්‍රධාන පුහුණුකරු Ashish Nehraගේ මුහුණෙන් නම් ඒ තරම් සතුටක් ප්‍රදර්ශනය වුනේ නැහැ.

මෙවර IPL තරගාවලියේ 62 වැනි තරගය ලෙස ඉන්දියාවේ අහමදාබාද් හිදි පැවැත්වුණු මෙම තරගයෙන් හයිද්‍රාබාදය පරදවමින් ලකුණු 34ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුජරාටය සමත් වූ අතර, මෙම තරගයේ වීරයා සම්මාන හිමි වුනේ පන්දු 58කින් ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වූ Shubman Gill හටයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 0 දී ම දැවී යාමෙන් අනතුරුව Gill සහ Sai Sudharsan විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. ඒ නිසා ම ඉනිමේ පන්දුවාර 14ක් අවසන් වන විට ගුජරාටය විසින් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වී සිටියත්, ඔවුන්ගේ ඉනිමට තවත් ලකුණු 40 එක් වන විට තවත් කඩුලු 8ක් ඉක්මනින් ම බිඳ වැටුණා. මින් කඩුලු 4ක් ම ඉනිමේ අවසන් පන්දුවාරයේ බිඳ වැටීමත් විශේෂත්වයක්.

මෙම කඩුලු එකින් එක බිඳ වැටෙන අතරේ සිය මංගල IPL ශතකය කරා යාමට Gill විසින් සමත් වූ අතර ඔහුගේ ශතකයෙන් පසු ක්‍රීඩාගාරයේ සිටි කණ්ඩායම් සාමාජිකයින්ගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලන් ම එම ශතකය වෙනුවෙන් නැගී සිටිමින් අත්පොළසන් ලබා දෙන අයුරු ද දැක ගැනීමට ලැබුණා.

නමුත් ගුජරාටයේ ප්‍රධාන පුහුණුකරු වන Ashish Nehra විසින් නම් එම ශතකය වෙනුවෙන් කිසිදු අගය කිරීමක් සිදු කරන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

2022 වසරේ සිට IPL තරග බිමට පිවිසි ගුජරාට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන Nehra බොහෝ අවස්ථාවල සිනහ මුසු ව, තැන්පත් ව සිය කණ්ඩායම අසල ම රැඳී සිටින අයුරු හෝ එහෙමත් නැති නම් නායක Hardik Pandya හෝ උපදේශක Gary Kirsten සමඟ තරගය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අයුරුයි දකින්නට ලැබෙන්නේ.

නමුත් ඊයේ තරගයේ දී Gillගේ ශතකය ලබා ගැනීම Nehraගේ මුහුණට සිනහවක් ගෙන ඒමට තරම් ප්‍රමාණවත් වූ බවක් පෙනුණේ නැහැ.

Gill සිය ශතකය ලබා ගන්නා මොහොතේ ක්‍රීඩාගාරයේ තැනක අසුන් ගෙන සිටි Nehra දුටු තරගයේ විස්තර විචාරකයින් දෙදෙනාගේ (Akash Chopra සහ Saba Karim) අනුමානය වුනේ කණ්ඩායමෙන් බලාපොරොත්තු වූ දක්ෂතා දකින්නට නොලැබීම Nehraව මේ තත්වයට පත් කරන්නට ඇති බවයි.

එමෙන් ම ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ Chopra විසින් සඳහන් කළේ පසුගිය මැයි 7 වැනිදා ලක්නව් සමඟ පැවැත්වුණු තරගයේ දී Gillගේ ඉනිම ලකුණු 94කින් නතර වන විට පවා ඔවුන් ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට සමත් වූ බවයි. නමුත් ඊයේ ගුජරාටය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 187ක් පමණයි. මෙය Nehraගේ ස්වභාවය වෙනස් වීමට හේතුව වන්නට ඇති බවයි Chopra විසින් අනුමාන කළේ.

එමෙන් ම ගුජරාට් ඉනිම අවසානයේ Hardik Pandya සහ Nehra අතර තවත් උණුසුම් සංවාදයක් ඇති වූ බවත් කැමරා කාචවලට හසු වී තිබුණා. එම සංවාදයෙන් අනතුරු ව Nehra එතැනින් ඉවත් ව ගිය අතර, කණ්ඩායම් අධ්‍යක්ෂක Vikram Solanki විසින් Pandyaව සන්සුන් කිරීමට උත්සාහ දරන බව පෙනී ගියා.

කෙසේ වෙතත් ගුජරාටය විසින් ලබා දුන් ඉලක්කය හඹා ගිය හයිද්‍රාබාදයට එය සපුරා ගැනීමට ගුජරාට් පන්දු යවන්නන් විසින් ඉඩ ලබා නොදුන් අතර, මෙම ජයග්‍රහණයත් සමඟින් මෙවර IPL තරගාවලියේ Play-Off තරග වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට ගුජරාටය විසින් සමත් වුනා.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<