කොල්කටා නායකයාට දඩ!

IPL 2023

272

මෙවර IPL තරගාවලියේ 61 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai Super Kings සහ Kolkata Knight Riders අතර තරගයේ දී IPL චර්යාධර්ම සංග්‍රහය බිඳ දැමීමේ වරදට Kolkata නායක Nitish Rana හට දඩ නියම වී තිබෙනවා.

පසුගිය ඉරිදා (14) චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේ දී Chennai Super Kings කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක පහසු ජයක් කරා යාමට Kolkata Knight Riders සමත් වූ අතර, එහි දී සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාම වෙනුවෙන් Rinku Singh සහ නායක Nitish Rana විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී Rinku සහ Rana දෙදෙනා ම අර්ධ ශතක වාර්තා කිරීම සමත් වීම ද විශේෂත්වයක්.

නමුත් එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ දී කොල්කටාව විසින් අඩු පන්දුවාර වේගයක් (Slow Over Rate) පවත්වා ගෙන ඇති බව අනාවරණය වුනා.

ඒ අනුව යමින් IPL වෙතින් එම වරද වෙනුවෙන් නායක Ranaට සහ අනෙකුත් කණ්ඩායම් සාමාජිකයින්ට ද දඩ නියම කිරීම පිළිබඳ සඳහන් කරමින් නිකුත් කළ නිවේදනය මෙසේයි.

“IPL චර්යාධර්ම සංග්‍රහය යටතේ මෙම තරග වාරයේ ඔහුගේ (Nitish Ranaගේ) කණ්ඩායම විසින් දෙවැනි වරටත් මෙම වරද සිදු කර ඇති බැවින් Ranaට ලක්ෂ 24ක මුදලකුත්, කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ට (Impact Player ලෙස නම් කළ ක්‍රීඩකයින් ද ඇතුළුව) ලක්ෂ 6ක් හෝ තරග ගාස්තුවෙන් 25%ක මුදලකුත් (ඒ දෙකෙන් අඩු මුදල) දඩ ලෙස නියම කර ඇත.”

එමෙන් ම මීට පෙර Mumbai Indians සමඟ කොල්කටාව ක්‍රීඩා කළ තරගයක දී මුම්බායි ක්‍රීඩක Hrithik Shokeen සමඟ ඇති කර ගත් ගැටුමක් නිසා ද Nitish Ranaට එම තරගයේ තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම වුනා.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<