ස්ටෝක්ස්ගේ තුන් ඉරියව්වෙන් එංගලන්තය එකට එක කරයි

357

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 113කින් ජය ගත් එංගලන්තය 1-1ක් ලෙස තරගාවලිය සම කිරීමට සමත් විය. එහි දී උපනායක බෙන් ස්ටෝක්ස්ගේ තුන් ඉරියව් දස්කම් කැපී පෙනුනි.

මේ වසරේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ වැටේ

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දු රැකීම සඳහා තීරණය කළේය. කොදෙව්වෝ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11ම මෙම තරගයට රැගෙන ආ නමුත් එංගලන්තය ක්‍රීඩකයින් සිව්දෙනෙක් වෙනස්කම් කරමින් තරගය සඳහා අවතීර්ණ වූයේ නිත්‍ය නායක ජෝ රූට්ගේ ද නායකත්වය යටතේයි.

සිය පළමු ඉනිම දියත් කළ එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 469ක් රැස් කරගනිමින් සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. එහි දී සුපිරි ඉනිමක් දියත් කළ වමතින් පිතිකරණයේ නිරත වන ස්ටෝක්ස් (4 පහර 17ක් සහ 6 පහර 2ක්) සිය දසවැනි ටෙස්ට් ශතකය ලකුණු 176ක් දක්වා රැගෙන තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. ඔහුට සහය වූ ඩොම් සිබ්ලි 4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 120ක් ලබාගත්තේ පන්දු 372ක් තුලයි.

ලකුණු 81කට කඩුලු 3ක්  බිඳ වැටී තිබූ මොහොතේ ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 260 සුපිරි සබඳතාවය තරගය ජය ගැනීම සඳහා එංගලන්තය ගිය ගමනේ පළමු අඩිතාලම බවට පත්විය.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් (4 පහර 8ක්) සහ ශිම්රන් බෘක්ස් (4 පහර 11ක්) ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වෙමින් පිළිවෙළින් ලකුණු 75ක් සහ ලකුණු 68ක් ලබාගෙන කොදෙව් ඉනිම යම් ස්ථාවර මට්ටමකට රැගෙන ආ නමුත් ඔවුන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 45ක් තුල බිඳ දැමීමට ක්‍රිස් වෝක්ස් ඇතුළු එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

තරගයේ තෙවැනි දිනය අවසන් වන විට එංගලන්ත පන්දු යවන්නන් කොදෙව් පළමු ඉනිම ලකුණු 287කට සීමා කිරීම නිසා ලකුණු 182ක දැවැන්ත පළමු ඉනිමේ වාසියක් සිය කණ්ඩායම දෙසට නතු කර ගැනීමට ඔවුන්ට හැකි විය. අනතුරුව එංගලන්ත දෙවන ඉනිම වේගවත් කිරීම සහ තරගය ජය ගැනීම සඳහා පිඹුරු පත් සකස් කළ එංගලන්තය සිය ආරම්භක පිතිකරුවන් ලෙස ස්ටෝක්ස් සහ බට්ලර් පිටියට අවතීර්ණ කරවන ලදි.

බංග්ලාදේශ කණ්ඩායමත් පුහුණුවීම් අරඹයි

සිය පිතිකරණ දස්කම් සඳහා තමන් ක්‍රීඩා කරන ස්ථානය වැදගත් නොවන බවත්, ඕනෑම අවස්ථාවක හෝ ඕනෑම වාතාවරණයක ක්‍රීඩා කරමින් සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ වගකීම නැවත වතාවක් ඉටු කළ ස්ටෝක්ස්  පන්දු 57ක් තුල වේගවත් ලකුණු 78*ක් ලබා ගනිමින් තරගය එංගලන්තය දෙසට නම්මා ගත්තේය. එම ප්‍රවේගකාරී ඉනිම සඳහා 4 පහර 4ක් සහ 6 පහර 3ක් ඇතුළත් විය.

ලකුණු 312ක ජයග්‍රාහී ඉලක්කයක් කොදෙව්වන්ට ලබා දෙමින් සිය දෙවැනි ඉනිම අත්හිටවූ එංගලන්තය කොදෙව් දෙවන ඉනිම ලකුණු 198කට සීමා කරමින් මේ තරගය ලකුණු 113කින් ජය ගත්තේ තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම කරමිනි. ඒ නිසාවෙන් දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරග ජය ගැනීම සඳහා කණ්ඩායම් දෙකම සිය උපරිමය ඉටු කරනු ඇත.

කොදෙව් දෙවන ඉනිම සවිමත් කළ ශිම්රන් බෘක්ස් සහ ජෙමයිනි බ්ලැක්වුඩ් පිළිවෙළින් ලකුණු 62ක් සහ ලකුණු 55ක් ලබා ගනිමින් දස්කම් දැක්වූ අතර බෘක්ස් ඒ ලබා ගත්තේ මෙම තරගය තුල ලබා ගත් දෙවන අර්ධ ශතකයයි.

පිතිකරණයේ දී ලකුණු 254ක්, පන්දු යැවීමේ දී කඩුලු 3ක් සහ පන්දු රැකීමේ දී එක් උඩපන්දුවක් ලබා ගත් ස්ටෝක්ස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

හතුරුසිංහ නිව් සවුත් වේල්ස් හි වැඩ අරඹන්නට යයි

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 24 වැනිදා මැන්චෙස්ටර් හිදීම පැවැත්වේ. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන තුල එංගලන්තය ලකුණු 186ක් දිනාගෙන තෙවැනි ස්ථානයේ සිටින අතර සංචාරක කොදෙව්වෝ ලකුණු 40ක් දිනා ගනිමින් එහි 7 වැනි තැන සිටියි.

තරගයේ වීරයා – බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)

එංගලන්ත පළමු ඉනිම – 469/9d – බෙන් ස්ටෝක්ස් 176, ඩොම් සිබ්ලි 120, ජොස් බට්ලර් 40, රොස්ටන් චේස් 5/172
කොදෙව් පළමු ඉනිම – 287 – ක්‍රෙයිග් බ්‍රත්වෙයිට් 75, ශිම්රන් බෘක්ස් 68, රොස්ටන් චේස් 51, ක්‍රිස් වෝක්ස් 3/42, ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/66
එංගලන්ත දෙවන ඉනිම – 129/3d – බෙන් ස්ටෝක්ස් 78*, කෙමාර් රොච් 2/32
කොදෙව් දෙවන ඉනිම – 198 – ශිම්රන් බෘක්ස් 62, ජෙමයිනි බ්ලැක්වුඩ් 55,  ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<