T20 ලෝක කුසලානය වෙනුවෙන් පාකිස්තාන තුරුම්පු දෙකක් නැවතත් කරළියට!

ICC T20 World Cup 2024

141
ICC T20 World Cup 2024

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් හිටපු පාකිස්තාන සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු නැවතත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට පය තැබීමේ සූදානමින් පසු වනවා.

මේ අනුව 2020 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Mohommad Amir නැවත ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට සූදානමින් සිටින බව ඊයේ (24) දිනයේ දැනුම් දුන්නා.

ජීවිතය අපේ තීරණ නැවත සලකා බලන අවස්ථා කරා අපව රැගෙන එනවා. මම සහ PCBය අතර ධනාත්මක මට්ටමේ සාකච්ඡා කිහිපයක් ම පැවැත්වුණා. මාව ඔවුන්ට අවශ්‍ය බව සහ මට තවමත් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි බව ඔවුන් ගෞරවනීය ලෙස මට දැනෙන්න සැලැස්වුවා.

මේ අනුව තමන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට සූදානම් බවයි Amir විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මට මෙය මගේ රට වෙනුවෙන් කරන්න අවශ්‍යයි. එය මගේ පෞද්ගලික තීරණවලට ඉදිරියෙන් තියෙනවා.

අමීර් පසුගිය දා නිමා වූ PSL තරගාවලියට සහභාගී වූ නමුත් එහි දී නම් ඔහුට කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් පාකිස්තාන වේගපන්දු බළඇණියේ සිටින ප්‍රබලතම තුරුම්පු වන Shaheen Afridi, Haris Rauf සහ Naseem Shah විසින් වර්තමානයේ ‍ආබාධ තත්වවලින් පීඩා විඳීම නිසා Amir නැවත පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැඳවීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරන්නට ඇති බව විශ්වාස කළ හැකි.

මේ අතර Amirගේ මෙම නැවත පැමිණීමේ තීරණය ගැනීමට දිනයකට පෙර පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක Imad Wasim ද නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කළා.

Imad විසින් පසුගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ නමුත් ඉන් පසුව ද ඔහු විස්සයි විස්ස ලීග් තරගාවලි වල දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

මේ අතරින් නිමා වූ PSL තරගාවලියේ අවසන් මහා තරගයේ දී Islamabad United කණ්ඩායම වෙනුවෙන් කඩුලු 5 දස්කමක් දක්වමින් සිය කණ්ඩායම ශූරතාව වෙත රැගෙන යාමට සමත් වූ Imadගේ තුන් ඉරියව් දක්ෂතා තරගාවලිය පුරාවටම කැපී පෙනුණා.

මෙම දක්ෂතා ද සමඟින් PCBය විසින් Imad හට ද නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ආරාධනා යොමු කර තිබුණා.

ඒ අනුව නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමට Imad තීරණය කළත් ඔහු PCBය සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමට බලාපොරොත්තු නොවන බවත් අවධාරණය කර තිබීම විශේෂත්වයක්.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වන තෙක් පමණක් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳීමට බලාපොරොත්තු වන බව Imad විසින් සඳහන් කරන අතර, වාර්ෂික ගිවිසුමක් සඳහා අත්සන් කිරීම මගින් ඔහුට ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් තරග සඳහා සම්බන්ධ වීමට යම් සීමා පැනවීමට ඉඩ තිබෙනවා.

Imad සහ Amirගේ මෙම නැවත කැඳවීම් පිළිබඳ තොරතුරු මෙසේ වන අතර, PCBය විසින් ඔවුන් දෙදෙනාවම කැඳවීම පිටුපස තවත් සැඟවුණු හේතුවක් ද පවතින බව අනුමාන කළ හැකි.

එළඹෙන ලෝක කුසලානය පැවැත්වීමට නියමිත කොදෙව් දූපත්වල පැවැත්වුණු CPL තරගවල දී Imad විසින් 18.88ක සාමාන්‍යයක් සහිතව කඩුලු 61ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, Mohommad Amir විසින් CPL තරගවල දී 14.39ක් වැනි සාමාන්‍යයක් සහිතව කඩුලු 43ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා ම කොදෙව් දූපත් හිදි දක්වා ඇති මෙම විශේෂ දක්ෂතා ඔවුන් ව නැවතත් ජාත්‍යන්තර තරග බිමට කැඳවීමට PCBය පෙලඹීමට විශාලතම හේතුව වූ බව අනුමාන කළ හැකි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<