“කාසියේ වාසිය පිළිබඳව වාද කරලා වැඩක් නෑ” – Virat Kohli

177
(HindustanTimes)

පළමු තරග දෙක වඩා උනන්දුවෙන් ක්‍රීඩා කළා නම් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ 2021 විස්සයි විස්ස ලෝක කුසලාන සවාරිය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණු බව ඉන්දීය ක්‍රිකට් නායක Virat Kohli පවසා සිටිනවා.

ඉන්දියාව ඊයේ (9) නැමීබියාව සමඟින් සුපිරි 12 වටයේ සිය අවසන් තරග ක්‍රීඩා කළ අතර මේ තරගයෙන් අනතුරුව Virat Kohli නිල වශයෙන් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට ද සමු දුන්නා.

ඉන්දියාව සිය පළමු තරගයේ දී පාකිස්තානය හමුවේ කඩුලු 10කින් පරාජය වූ අතර දෙවැනි තරගයේ දී නවසීලන්තය හමුවේ කඩුලු 8කින් පරාජය වුනා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය නායක Virat Kohli පවසා සිටියේ ඇෆ්ගනිස්තානය, ස්කොට්ලන්තය හා නැමීබියාවට එරෙහි තරග තුන ඉන්දියාව ක්‍රීඩා කළ ආකාරය ඉතා ධනාත්මක බවයි.

අවසන් තරග තුන ක්‍රීඩා කළ ආකාරයෙන් ධනාත්මක දේවල් ගොඩක් ගන්න තියෙනවා. මේක බොහොම තියුණු සීමාවන් තිබෙන තරගයක්. පළමු තරග දෙකේ පන්දුවාර දෙකක්වත් අපි වඩා උනන්දුවෙන් ක්‍රීඩා කළා නම් අද මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න තිබුණා”, Virat Kohli පවසා සිටියා.

ඉන්දියානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු Bharat Arun, නැමීබියාවට එරෙහි තරගයට පෙර පවසා තිබුණේ මේ තරගාවලිය පුරාවට කාසියේ වාසිය තරගයේ ප්‍රතිඵලයට ප්‍රබල සාධකයක් වූ බවයි. නමුත් එය නිදහසට කරුණක් ලෙස භාවිතා කළ නොහැකි බව Kohli පවසා සිටියා.

අපි කාසියේ වාසිය ගැන වාද කරගන්නා කණ්ඩායම් නෙවේ. කාසියේ වාසිය දින්නත් නැතත් අපි ඕනේ දෙයක් කරන්න සුදානම් වෙන්න ඕනේ”, ඉන්දීය නායකයා පවසා සිටියා.

අපි පළමු තරග දෙකේ දී එතරම් නිර්භීත වුනේ නැහැ. ඒ නිසා පසුව අපි අමාරුවේ වැටුණා. අපි දැනන් හිටියා ඉදිරියට යන්නට අපහසු වෙන්න කියලා.”

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<