2006 වසරේ ජුලි මස 27 වැනිදා එළැඹෙන්නේ දකුණු අප්‍රිකානුවන්ගේ මෙරට සංචාරයේ පළමු ටෙස්ට් තරගය ආරම්භ කරමිනුයි. එය දෙරට අතර පැවැති 7 වැනි ටෙස්ට් තරගාවලියයි.
ඒ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කින් යුත් එංගලන්ත සංචාරය 1-1ක් ලෙසින් නිමා කරමින් මෙරට පැමිණ දින 52ක් ගත වූවා පමණයි. සංචාරක දකුණු අප්‍රිකා තරගාවලියේ නායකත්වය සඳහා නැවතත් මහේල ජයවර්ධනට ආරාධනා කෙරෙන අතර එංගලන්ත සංචාරයේ තරගවලට එක් වූ තිලාන් සමරවීර, නුවන් කුලසේකර, මයිකල් වැන්ඩොට් සහ ජෙහාන් මුබාරක් දකුණු අප්‍රිකා තරගාවලියේ තරග සඳහා කැදවුණේ නැහැ. කෙසේ වෙතත් ඒ වෙනුවට දිල්හාර ප්‍රනාන්දුට මේ අසහාය තරගයකට එක්වීමට වරම් ලැබෙනවා.
SSC පිටියේ පැවැති මෙම තරගයේ දී Ashwell Prince ගේ නායකත්වයෙන් යුතුව තරග බිමට පිවිසි දකුණු අප්‍රිකානුවෝ සියලු දෙනා ලකුණු 169කට සීමා වීමත් සමඟිනුයි පළමු දිනයේ තේ විවේකයට තරගය නතර කෙරෙන්නේ.
මෙම තරගයට පෙර නවසීලන්ත කණ්ඩායම හමුවේ තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කර පැමිණි දකුණු අප්‍රිකානුවන්ට මෙය දරාගත නොහැකි අවමානයක් වෙනවා. ඒ එම ලකුණු ප්‍රමාණය ඔවුන් එම වසරේ දී වාර්තා කරන ලද අඩු ම ලකුණු ප්‍රමාණය හේතුවෙනුයි.
කෙසේ වෙතත් එම ඉනිමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියට පිවිසෙන අතර ඔවුන් දිනය අවසන් වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 128ක් ලබා සිටියා. ඒ වෙද්දී ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි උපුල් තරංග (7) සහ සනත් ජයසූරිය (4) අඩු ලකුණුවලට ඉනිම් හැරගොස් සිටි අතර පිටියේ නොදැවී රැඳී සිටි කුමාර් සංගක්කාර ලකුණු 59ක් ද සහ මහේල ජයවර්ධන ලකුණු 55ක් ද ලබා සිටියා.
ඒ වෙද්දී ඔවුන් දෙදෙනා 3 වැනි කඩුල්ලට ලකුණු 114ක සබඳතාවක් ද ගොඩනගා තිබුණා. ඔවුන් දෙදෙනා එක් ව පළමු ලකුණු 50 වාර්තා කිරීමට පන්දු 70ක් වැය කර තිබුණ ද 2 වැනි ලකුණු 50 රැස් කිරීමේ දී වැය කරන්නේ පන්දු 42ක් පමණක් වීම කැපී පෙණුනා. එය ඔවුන්ගේ වාර්තා ගත ලකුණු සබඳතාවේ පහසුවෙන් ම රැස් කළ ලකුණු 50 ලෙසයි සැලකෙන්නේ.
දෙවැනි දිනයේ ලකුණු 357ක්!
අනතුර ව තරගයේ 2 වැනි දිනය පුරා නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට ඔවුන් දෙදෙනා සමත් වුනා. ඔවුන් දවසේ කාර්තු 3 ගෙවා දැමුවේ, දහවල් ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු 99ක්, සවස තේ විවේකය සඳහා තරගය නතර කරන විට ලකුණු 93ක් සහ තරගය 2 වැනි දිනයට නතර කරන විට ලකුණු 165ක් අතුලුව 2 වැනි දිනයට ලකුණු 357ක් ලබා ගනිමිනුයි.
මෙම ලකුණු අතුරින් ලකුණු 200 සිට ලකුණු 250 දක්වා රැස් කිරීමට ඔවුන් දෙදෙනා පන්දු 107ක් වැය කරන ලද අතර එය ඔවුන් අපහසුවෙන් ම රැස් කරන ලද ලකුණු පරාසය බවට පත් වුනා. ඒ වෙද්දී කුමාර සංගක්කාර නොදැවී ලකුණු 229ක් ද සහ මහේල ජයවර්ධන නොදැවී ලකුණු 224ක් ද ලබා සිටි අතර දිනය තුළ යැවුණ පන්දුවාර ප්‍රමාණය 86ක්.
තරගයේ එම දිනය අවසන් වෙන්නේ ඔවුන් දෙදෙනා විසින් එම දිනය තුළ ලබා ගන්නා ලද ලකුණු ප්‍රමාණය, ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ එක් දිනක් තුළ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙමිනුයි. එතෙක් එහි මුල් පුටුව වෙන්වී තිබුණේ සනත් ජයසූරිය සහ රොෂාන් මහානාමටයි. ඔවුන් දෙදෙනා 1997 වසරේ දී ඉන්දියාවට එරෙහි ව පැවැති තරගයේ දී 3 වැනි දිනයේ නොදැවී පිටියේ රැඳී සිටිමින් ලකුණු 282ක් ලබා සිටියා.
පසුකාලයේ දී, එනම් 2021 වසරේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශය සමඟ පැවැති තරගයක දී ද දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා 4 වැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 282ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවට එක් වීමට සමත් වුනා.
- අපට හමුවෙන දකුණු අප්‍රිකානුවෝ
- කුසල්, පැතුම්, චරිත්, වනිඳු පිනුම් ගැසූ 2024 එක්දින පිටිය
- ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම් කරයි
- දකුණු අප්‍රිකාවට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සහයට දකුණු අප්රිකානුවෙක්
මහේල සහ සංගක්කාර ගේ සබඳතාව ලකුණු 624ක්!
මහේල සහ සංගක්කාර විසින් තැබූ මෙම වාර්තාවන් ගැන කිසිදු තැකීමක් නොකළ ඔවුන් දෙදෙනා තරගයේ තෙවැනි දිනයේ ද පන්දුවට පහර දීමට පිටියට පිවිස දිවා ආහාරයෙන් පසුව තවත් පැයකට ආසන්න කාලයක් පිටියේ රැඳී සිටිමින් දකුණු අප්‍රිකානුවන්ට රිසි සේ බැට දුන්නා.
කුමාර සංගක්කාර පන්දු 457කට මුහුණ දෙමින් හතරේ පහර 35ක් සමඟින් ලකුණු 287ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ වාර්තා ගත ලකුණු සබඳතාව බිඳී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 638ක් බවට පත් වෙද්දී මහේල සහ සංගක්කාර අතර තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 624ක් බවට පත් වෙනවා.
මෙම තරගයේ මහේල සහ සංගක්කාරගේ සුවිශේෂී කඩඉම් – ලකුණු සබඳතාවන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩඉම් (පන්දුවලින්)
ලකුණු | මහේල ජයවර්ධන | කුමාර් සංගක්කාර
|
සබඳතාව
|
වෙනස | ඉනිමේ ලකුණු | වෙනස |
50 | 72 (6×4) | 56 (8×4) | 70 | 66 | ||
100 | 162 (14×4) | 116 (14×4) | 112 | 42 | 128 | 62 |
150 | 260 (20×4) | 224 (19×4) | 191 | 79 | 195 | 116 |
200 | 324 (26×4) (1×6) | 272 (27×4) | 268 | 77 | 263 | 186 |
250 | 402 (29×4) (1×6) | 372 (32×4) | 375 | 107 | 351 | 88 |
300 | 491 (34×4) (1×6) | 452 | 77 | 450 | 99 | |
350 | 534 (41×4) (1×6) | 506 | 54 | 519 | 69 | |
400 | 566 | 60 | 567 | 48 | ||
450 | 617 | 51 | 632 | 65 | ||
500 | 721 | 104 | 719 | 87 | ||
550 | 821 | 100 | 817 | 98 | ||
600 | 914 | 93 | 903 | 86 | ||
650 | 995 | 92 | ||||
700 | 1046 | 51 | ||||
750 | 1098 | 52 |
ඔවුන් දෙදෙනාගේ මේ බැට දීම අද දවස දක්වා ම නොනැසී පවතින ටෙස්ට් තරග වාර්තාවක් බවට පත් වෙනවා. ඒ ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන වැඩිම ලකුණු සබඳතාව පිහිටුවීමේ වාර්තාව ලෙසිනුයි.
එම වාර්තාවේ පෙර අයිතිකරුවන් ව සිටියේ ද ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයක්. ඔවුන් දෙදෙනා විසින් බිඳ හෙළන්නේ 1997 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය විසින් ඉන්දියාවට එරෙහි ව 2 වැනි කඩුල්ලට ලබා සිටි ලකුණු 576ක වාර්තාවයි.
මහේල ජයවර්ධන ලකුණු 374ක්!
එමෙන් ම මේ අසහාය තරගයේ දී මහේල ජයවර්ධන පන්දු 572කට මුහුණ දෙමින් හතරේ පහර 43ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 374ක් ලබා ගන්නා ලද අතර එය දෙරට ඉතිහාසයේ එක් ඉනිමක දී ක්‍රීඩකයෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙනවා. එමෙන් ම එම ඉනිම ඔහුගේ තරග 149ක් වන ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් ද ඉතිහාසයට එක් කර ගැනීමට මහේල සමත් වෙනවා.
කෙසේ වෙතත් මහේලගේ මෙම ඉනිම අභිබවා යන ඉනිමක් සේ ම මහේල සහ සංගක්කාර එක් කළ වාර්තාගත ලකුණු සබඳතාවයක් ද මෙතෙක් වසර 18ක් තුළ වාර්තා වී නොමැති වීම ද විශේෂත්වයක්.
ශ්‍රී ලංකාවට තවත් වාර්තා කිහිපයක්!
මෙම වාර්තාවන්ට අමතර ව තවත් වාර්තා කිහිපයක් ද මේ අසහාය තරගයේ දී දෙරට ටෙස්ට් තරග වාර්තා පොත් අතරට එක් වෙනවා. ඒ අනුව මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 756 දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග ඉතිහාසයේ ඔවුන්ට එරෙහි ව ඉනිමක දී ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙනවා.
කෙසේ වෙතත් මෙම තරගයේ පළමු ඉනිමේ දකුණු අප්‍රිකාව ලද ලකුණු 169 ලැජ්ඡාව මකා ගැනීමට ඔවුන් 2 වැනි ඉනිමේ දී සමත් වීම කැපී පෙණෙනවා. ඔවුන් එම ඉනිම වෙනුවෙන් ලකුණු 434ක් ලබා ගන්නවා. මෙම ඉනිම් දෙකේ එකතුව සේ ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාවේ ද එකතුව සමඟින් මෙම තරගයේ දී දෙපිලේ ක්‍රීඩකයෝ ලකුණු 1359ක් ලබා ගන්නා ලද අතර එය දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායම් 2 එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් කර ගන්නවා.
එමෙන් ම මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉනිමක සහ ලකුණු 153ක ජයග්‍රහණයක් හිමි වෙන අතර එය දකුණු අප්‍රිකාවට එරෙහි ව ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ ඉහළ ම පරතරයකින් යුත් තරග ජයග්‍රහණය ලෙසින් ද වාර්තා පොත් අතරට එක් වෙනවා.
ඒ අසහාය තරගයේ කෙටි ලකුණු පුවරුව
1 වැනි ටෙස්ට් තරගය, කොළඹ SSC, ජුලි 27-31, 2006, South Africa tour of Sri Lanka
- කාසියේ වාසිය – දකුණු අප්‍රිකාව
- තරගයේ වීරයා – මහේල ජයවර්ධන
දකුණු අප්‍රිකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (50.2) Jacques Rudolph 29, AB de Villiers 65, ෆර්වීස් මහරූෆ් 2/32, දිල්හාර ප්‍රනාන්දු 4/48, මුත්තයියා මුරලිදරන් 4/41
ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 756 (185.1) කුමාර් සංගක්කාර 287, මහේල ජයවර්ධන 374, තිලකරත්න ඩිල්ශාන් 45, Dale Steyn 3/129
දකුණු අප්‍රිකාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 434 (157.2) Jacques Rudolph 90, Andrew Hall 64, Ashwell Prince 61, Mark Boucher 85, දිල්හාර ප්‍රනාන්දු 2/69, මුත්තයියා මුරලිදරන් 6/131
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 153ක ජයක්.
මේ අසහාය තරගය දශක දෙකක ආසන්න අතීතයකට එක් වෙමින් පැවැතියත් එහි මතකයන් තව දුරටත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ නොනැසී පවතිනවා. එමෙන් ම පුන පුනා සටහන් තැබීමට තරම් වටිනා වැදගත් සිදුවීම්වලින්වලින් ද එම තරගය සමන්විත වීම විශේෂත්වයක්.
ඉතිහාසයට එක් වූ එම තරග වාර්තාවන් අලුත් කිරීමට වර්ථමාන ක්‍රීඩකයන්ට ලැබූ මෙම අවස්ථාවෙන් ඔවුන් කෙලෙස ප්‍රයොජන ගනී දැයි අපි බලා සිටිමු.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<