ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මාවන්ගෙන් අනාවැකියක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

332

2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් පාකිස්තානයට පවතින බව හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු පවසා සිටියා.

මාවන් අතපත්තු මේ බව පවසා සිටියේ ඩුබායි රාජ්‍යයේ සිට ලෝක කුසලාන තරගාවලිය ආවරණය කරන ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පාකිස්තාන කණ්ඩායම පරාජය කිරීම පහසු නැහැ. මෙම තත්ත්වය ඔවුන්ගේ රටේ තත්වයන්ට ඉතා සමීපයි. පන්දු යවන්නන් යොමු කරන පන්දු සහ ඒවාට ඔවුන් ක්‍රීඩා කරන පහරවල් දැක්කම මම හිතන්නේ ඔවුන්ට නින්දෙන් වුනත් ඒ පහරවල් ක්‍රීඩා කරන්න පුළුවන්. ඔවුන් මේ තණතීරු හැසිරෙන ආකාරය ඉතාමත් හොඳින් දන්නවා”, මාවන් අතපත්තු පවසා සිටියා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ සිටින එකම අපරාජිත කණ්ඩායම පාකිස්තානයයි. පළමු වටයේ අපරාජිත වීම ඔවුන්ගේ දෙවැනි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔවුන්ට උත්තේජනයක් ලබා දෙන බව නොඅනුමානයි. ඔවුන් අවසන් වරට ලෝක කුසලාන තරගාවලියක් ජය ගත්තේ 2009 වසරේ එංගලන්තයේ දීයි. එහි දී අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් වුනා.

නොවැම්බර් 11 වැනිදා අබුඩාබි හි ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

පළමු අවසන් පූර්ව වටයේ තරගයේ දී 2019 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් වන එංගලන්තය සහ අනුශූරයන් වන නවසීලන්තය සමඟින් තරග වැදීමට නියමිතයි. පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 10 වැනිදා ඩුබායි හිදී පැවැත්වෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 14 වැනිදා ඩුබායි හිදී පැවැත්වෙනවා. මෙම තරග තුනම ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.00 ට ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තානයේ වේගපන්දු යවන ක්‍රීඩක Harris Rauf ටේප් බෝලයකින් පාකිස්තානයේ පාරක පන්දු යවන YouTube වීඩියෝවක් මම මෑතක දී දැක්කා. ප්‍රතිවාදී කණ්ඩායම පන්දු යවන තැන් සහ පාකිස්තානය පන්දුවට පහර දෙන ආකාරය දැක්කම අපිට පේනවා මේ තණතීරු වල ඔවුන් ක්‍රීඩා කරන පහර ඔවුන්ට අලුත් දෙයක් නෙමෙයි කියලා.

මේ තත්ත්වයන් යටතේ පාකිස්තානු කණ්ඩායම පරාජය කිරීමට හොඳ කණ්ඩායමකට ඇත්තෙන්ම හොඳ දවසක් තියෙන්න ඕනේ. මේක මගේ අවංක අදහස. මම හිතුවේ නැහැ ඉන්දියාව වගේ කණ්ඩායමක් මේ තරම් ඉක්මනට තරගාවලියෙන් අයින් වෙයි කියලා. ඒ වගේම මේ තරගාවලිය තුළ ශ්‍රී ලංකාව කළ දේ ගැන මම පුදුමයට පත් වුනා. ඒ නිසා මම හිතනවා මේ තරගාවලියේ යම් යම් පුදුම දේ වෙන්න පුළුවන්.

එංගලන්ත කණ්ඩායම ඇත්තටම හොඳ කණ්ඩායමක්. නමුත් ඔවුන්  ලංකාවෙන් පරාජය වෙන්න ආසන්න වුනා. ඔවුන් පිළිගත්තා තමන්ට හොඳ සටනක් දුන් එකම කණ්ඩායම ශ්‍රී ලංකාව බව. දැන් මේ කණ්ඩායම් හතරෙන් එක් කණ්ඩායමක් තෝරගන්න කිව්වොත් මම පාකිස්තාන කණ්ඩායම තෝරනවා”, අතපත්තු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි අංක 1 පිතිකරුවා වන Babar Azam පාකිස්තානයේ නායකත්වය දරනවා. Babar Azam එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙතෙක් ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග 16 ම ජයග්‍රහණය කර තිබෙනවා.

සුපිරි 12 වටයේ දී පාකිස්තානය සිය ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඉන්දියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, නැමීබියාව සහ ස්කොට්ලන්තය පරදවමින් 2 කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

එම වටයේ දී පාකිස්තානය ජයග්‍රහණය කළ තරග 5 තුළ දී, වමත් වේගපන්දු යවන Shaheen Shah Afridi, ආරම්භක පිතිකරු/කඩුලු රකින්නා වන Mohommad Rizwan, මැදපෙළ පිතිකරු Asif Ali, වේගපන්දු යවන ක්‍රීඩක Harris Rauf සහ පළපුරුදු මැදපෙළ පිතිකරු Shoaib Malik තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. එය පාකිස්තාන කණ්ඩායම සියලු අංශවලින් අත්කරගෙන ඇති ගැඹුර ප්‍රදර්ශනය කරනවා.

මීට අමතරව අවසන් පූර්ව වටය නියෝජනය කරන එකම ආසියානු කණ්ඩායම වන්නේ ද පාකිස්තානයයි.

නොවැම්බර් 6 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය එංගලන්තය පරාජය වුවද තරග 5කින් තරග 4ක් ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත් වුනා.  ඕස්ට්‍රේලියාව සහ  නවසීලන්තය තම තරග 5න් 4ක් ජයග්‍රහණය කරමින් එක් එක් කාණ්ඩවල දෙවැනි ස්ථානය ලබාගැනීමට සමත් වුනා.

පාකිස්තානය 2009 වසරේ දී සහ එංගලන්තය 2010 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කර ඇති අතර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය තවමත් විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත්ව නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<