එංගලන්තය මට්ටු කරන හැටි ගැන Mickey Arthur කතා කරයි

ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය 2021

405

ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලිය එළඹෙන 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පුහුණු තරගයක් ඊයේ (16) පැවති අතර දෙවැනි පුහුණු තරගය හෙට (18) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සකස් කර ඇති සැලසුම් කෙසේ ද? ඒ පිළිබඳව ප්‍රධාන පුහුණුකරු Mickey Arthur මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය විස්සයි විස්ස තරග තුල යම් පසුබෑමක් පෙන්වන අතර ඒ පිළිබඳව Mickey Arthur සිය මතය පලකර තිබුණා. 

පසුගිය වසර කීපය ගත්තම අපේ පසුබෑමක් තියනවා. අපි අපේ සැලසුම් හදද්දී මූලිකවම ඒක ගැන තමයි බලන්නේ. මම බංග්ලාදේශ තරගාවලියටත් කලින් කිව්වේ අපිට දීර්ඝ එක්දින සහ විස්සයි විස්ස තරගාවලි කීපයක් එනවා කියලා. අපි අපේ කණ්ඩායම ගැන ගැඹුරින් විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ තමයි යොදාගන්න සංයුතිය තීරණය කරන්නේ. මම හිතනවා අපි දැන් නිවැරදි මාර්ගයට ඇවිල්ලා ඉන්නේ. ක්‍රීඩක සංයෝජනය ගැන තිබුණ යම් යම් ගැටලු දැන් නිරාකරණය වෙලා තියනවා. 

එංගලන්ත තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩාය එරට දේශීය කණ්ඩායම් සමඟින් පුහුණු තරග ක්‍රීඩා නොකිරීම යම් අවාසි සහගත තත්ත්වයක් උදාකර තිබෙමවා. Mickey Arthur ඒ පිළිබඳව ද මෙහි දී අදහස් දක්වා සිටියා. 

“මම හිතන්නේ නැහැ ඒක එතරම් බලපෑමක් කියලා. අපි බංග්ලාදේශ සංචාරය නිමා කරලා නැවත ආවට පස්සේ කොළඹ දී නිරෝධායනය වුනා. ඉන් පස්සේ අපිට ලොකු අවස්ථාවක් තිබුණා පුහුණුවීම් හොඳින් සංවිධානය කරගන්න. ඉන් අනතුරුව අපි එංගලන්තයට ආවට පස්සේ අපි ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කළා. ඊයේ පුහුණු තරගයක් තිබුණා. හෙටත් තව තරගයක් පවත්වන්න අපි සූදානමින් ඉන්නවා. අපේ සංචිතයේ ක්‍රීඩකයන් 24ක් ඉන්න එක තරමක් වාසිදායක තත්ත්වයක් වුනා. අපි තරගකාරී පුහුණු තරග පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේක අපේ පුහුණුවීම් වලට ලොකු උදව්වක් කියලා මම හිතනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාසයේ දී බංග්ලාදේශය හමුවේ පළමු තරගාවලි පරාජයට මුහුණ දුන් අතර එම තරගාවලිය හා සසඳන විට එංගලන්ත කණ්ඩායම ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් වනවා.

එංගලන්තයට ඉතාමත් ප්‍රබල එක්දින කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් එක කණ්ඩායමක් විදිහට ගොඩක් තරග ක්‍රීඩා කරලා නැති වුනත් ඒ ක්‍රීඩකයන් Vitality Blast වගේ තරගාවලි වල ක්‍රීඩා කරලා තියනවා. අපිට පුළුවන් වුනා ඔවුන් ක්‍රීඩා කරපු තරග කීපයක් බලන්න. Livinstone, Buttler වගේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා අපි දැක්කා. ඔවුන්ගේ සියලුම ක්‍රීඩකයන් මේ දේශීය තරගාවලිය තුල ක්‍රීඩා කරනවා. 

පසුගිය සති කීපය තුල ඔවුන් තරග ක්‍රීඩා කරලා හොඳ සූදානමක ඉන්නවා. මේක ලොකු අභියෝගයක් අපිට. මට ඕනේ දියුණුවක් දකින්න. බංග්ලාදේශ තරගාවලියෙන් පටන් ගත්ත මේ ගමනේ දවසින් දවස දියුණුවක් දකින්න ඕනේ මට. අපි කණ්ඩායමක් හදන්න පටන්ගෙන තියනවා. අපි පුහුණුකරුවන් විදිහට හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්නේ. අපි මූලික ඉලක්කවලට ගිහින් තරගවල දී ලකුණු වාර්තා කළොත් මම හිතනවා හොඳ ප්‍රතිඵලයක් ඒවි කියලා. අපේ මූලික අරමුණ වෙන්නේ ඒක. 

බංග්ලාදේශ තරගාවලිය අතරතුර ලබාගත් අත්දැකීම් එංගලන්ත තරගාවලිය සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳව ද Mickey Arthur සිය අදහස් පලකර තිබුණා.

මේ තරගාවලිය ගොඩක් වෙනස්. කණ්ඩායම් දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. බංග්ලාදේශ තරගාවලිය තුල තරගය අතරතුර අපි යම් පසුබෑමකට ලක්වුනා. අපි මූලිකවම අවධානය යොමු කරන්න ඕනේ ඒක ගැන. අපි බංග්ලාදේශ තරගාවලිය තුල මැද පන්දුවාර තුල ලකුණු 130–140ක් වගේ වාර්තා කළේ. ඒක වැඩිකරගන්න ඕනේ. බංග්ලාදේශ තරගාවලියේ අවසන් තරගයේ දී අපි ඒක කරන්න සමත් වුනා. අපිට දැන් ඕනේ තමන්ගේ දක්ෂතා ගැන විශ්වාසය. අපි පුහුණුකරුවන් විදිහට ක්‍රීඩකයන්ට ඒකට උදව් කරන්න ඕනේ. ධනාත්මක වර්ධනයක් ලබාගන්න අවශ්‍ය වෙනස්කම් කරන්න අපි සූදානමින් ඉන්නවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරග තුල එකිනෙකට වෙනස් පිතිකරණ අනුපිළිවෙළක් යොදාගැනීම කණ්ඩායමේ අසාර්ථකත්වයට විශාල බලපෑමක් එල්ල කළ බව බොහෝදෙනාගේ මතය වී තිබෙනවා. ස්ථීර පිතිකරණ අනුපිළිවෙළක් සකස් කරගැනීම සිය මූලික අරමුණ බව Mickey Arthur පවසා සිටියා. එමෙන්ම සංචිතය සඳහා මුල්පෙළ ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වීම පිළිබඳව ද ඔහු මෙහි දී සිය අදහස් දක්වා සිටියා.

අපි මුලිකවම ක්‍රීඩකයන්ගේ කාර්‍යභාරය නිවැරදිව පවරන්න ඕනේ. ඔවුන් ක්‍රීඩා කරන ස්ථානය එක්කම. අපිට ගොඩක් ක්‍රීඩකයන් ඉන්නවා 1, 2, 3 තැන්වල ක්‍රීඩා කරන්න. ඒත් අංක 4, 5, 6 ක්‍රීඩා කරන්න පුළුවන් ගොඩක් අය නැහැ. ඒ නිසා අපිට යම් යම් වෙනස්කම් කරන්න වේවි. අවසන් පුහුණු සැසිය තුල අපි ඒ වෙනස්කම් අත්හදා බැලුවා. අපිට පුළුවන් වේවි ක්‍රීඩකයන්ගේ ස්ථානය නිවැරදිව හඳුනා ගන්න. අපි ගත්තොත් කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු මුල් ස්ථාන තුන තුළ ක්‍රීඩා කළොත් ලොකු වාසියක් වේවි. ඒත් අංක 4, 5, 6 ගැනත් හිතන්න ඕනේ. ඒ හැම එකක් එක්කම තමයි අපි කණ්ඩායම සකස් කරන්න ඕනේ. 

අනිවාර්යයෙන්ම අපි පිතිකරණ අනුපිළිවෙළක් හදාගන්න ඕනේ. අපිට එහෙට මෙහෙට පැන පැන ක්‍රීඩා කරන්න බැහැ. ඒක ක්‍රීඩකයන්ට අමාරුයි. එක් එක් තැන්වල ඔවුන්ට තියන වගකීම් වෙනස්. අපි අවසන් පුහුණු සැසිය තුල ඒ ගැන කතා කළා. ඒ වගේම අපි ලෝකයේ හොඳම කණ්ඩායම් අනුගමනය කරන වැඩපිළිවෙළ බලලා ඒ අනුව සැලසුම් සකස් කරනවා. 

මීට අමතරව එංගලන්ත තරගාවලිය සඳහා වන සැලසුම් රැසක් පිළිබඳව Mickey Arthur විසින් පවසා සිටියා. ඔහුගේ අදහස් දැක්වීම පිළිබඳව සම්පූර්ණ වීඩියෝව නරඹන්න. 

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලිය පිළිබඳව සියලු තොරතුරු, ඡායාරූප, ප්‍රවෘත්ති එසැණින් දැනගන්න ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<