ඇමරිකන් ෆුට්බෝල් වලට පූර්ණ ඔලිම්පික් අනුමැතිය?

147

ජනප්‍රිය ක්‍රීඩාවක් වන ඇමරිකානු පාපන්දු (American football) ක්‍රීඩාව සඳහා පූර්ණ ඔලිම්පික් කමිටු පිළිගැනීම ලැබීමට ආසන්න බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) විධායක මණ්ඩලය (EB) විසින් ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව ඔලිම්පික් කමිටුවේ පූර්ණ පිළිගැනීම සහිත, ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූල ක්‍රීඩාවක් බවට පත්කිරීමට වන යෝජනාව ඉදිරිපත් කොට තිබෙනවා. එළඹෙන ඔක්තෝබර් 15-17 දිනවල මුම්බායේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් කමිටුවේ 140 වැනි සැසියේ දී මෙය ගැන තීරණය ගනු ඇති.

ජාත්‍යන්තර ඇමරිකානු පාපන්දු සම්මේලනය (IFAF) සඳහා ඔලිම්පික් කමිටුවේ අර්ධ වශයෙන් පිළිගැනීම ලැබුණේ 2013 දීයි. මේ වන විට පූර්ණ පිළිගැනීම සඳහා වන නිර්ණායක සියල්ලම පාහේ IFAF විසින් සපුරා තිබෙනවා.

එහි දී සම්මේලනය විසින් ඔලිම්පික් කමිටුවේ තහනම් උත්තේජක පිළිබඳ නීති සංග්‍රහය, ඔලිම්පික් නීති සංග්‍රහය සහ පාලනය කිරීමේ නීති සංග්‍රහයට එකඟ වී තිබෙනවා. 1998 දී ආරම්භ කළ ඇමරිකානු පාපන්දු සම්මේලනය සතුව මේ වන විට මහාද්වීප 5ක සංගම් 74ක සාමාජිකත්වය පවතිනවා. ක්‍රීඩකයන් ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන 4.8ක් පමණ වනවා.

ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව ලොව ධනවත්ම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත්, තරමක් අනතුරුදායක ක්‍රීඩාවක්. ඇමරිකාවේ football වශයෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු පාපන්දු ක්‍රීඩාවයි. අප දන්නා සාමාන්‍ය පාපන්දු ක්‍රීඩාව ඔවුන් විසින් හඳුන්වන්නේ soccer යනුවෙන්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<