“අපේ ක්‍රීඩකයන් යන්ත්‍ර නෙමෙයි” Rohitගෙන් චෝදනා

6047
We are not machines says Rohit Sharma

ඉන්දීය කණ්ඩායම පසුගිය ජුනි මාසයේ සිට කාර්‍යබහුල කාලසටහනක සිටින අතර ඒ පිළිබඳව ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත චෝදනා කර තිබුණා.

මේ පිළිබඳව ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා වන Rohit Sharma ද පසුගිය දා අදහස් දක්වා සිටියා.

ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව නවසීලන්තය සමඟින් තරගාවලියක් සඳහා එක්වීමට නියමිතයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් Rohit Sharma පවසා සිටියේ ක්‍රීඩකයන්ගේ කාර්‍යයන් කළමනාකරණය කිරීම අනිවාර්ය වී ඇති බවයි.

ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා සහභාගි වීමට පසුගිය ජුනි මාසයේ දී එංගලන්තයට ගිය අතර එම අවසන් තරගයෙන් පසුව එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කර තිබුණා.

ඉන් අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වුනා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමා වී දින කිහිපයකින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වූ අතර ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායම එළඹෙන 17 වැනිදා නවසීලන්ත තරගාවලියක් සඳහා සහභාගි වනවා.

නවසීලන්තය සමඟින් ඉන්දියාවේ ජායිපූර් හි පැවැත්වෙන පළමු තරඟයට පෙර මාධ්‍ය හමුවක් අමතමින් Rohit Sharma සිය ක්‍රීඩකයින්ගේ කාර්යභාරය කළමනාකරණය පිළිබඳව අවධාරණය කරමින් කියා සිටියේ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන සොයා බැලීම සහ ඔවුන් විවේකීව තබා ගැනීම වැදගත් බවයි.

ක්‍රීඩකයන්ගේ වැඩ කළමනාකරණය වැදගත් දෙයක්. අපි මේ කාලය තුළ තරඟ ගොඩක් ක්‍රීඩා කරනවා. ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව නිරීක්ෂණය කරන එක වැදගත්. අපේ ක්‍රීඩකයින් යන්ත්‍ර නෙමෙයි. ඔවුන්ට හැමදාම ක්‍රීඩාංගණයට යන්න බෑ. ඔවුන්ට විවේකයක් ලබා දෙන්න ඕනේ. ඔවුන්ට යම් නැවුම් බවක් අවශ්‍යයි.”

අපි මේ විස්සයි විස්ස තරගාවලියේ දී සමහර ක්‍රීඩකයින්ට විවේක ලබා දීලා තියනවා. සමහර ක්‍රීඩකයින්ට ටෙස්ට් තරගාවලිය සඳහා විවේකයක් ලැබෙනවා. අපට අවශ්‍ය වන්නේ අපේ ක්‍රීඩකයින් ඉදිරි අභියෝගය සඳහා මානසිකව නැවුම් වෙන්න. අපි සෑම තරගාවලියක දී ම එය නිරීක්ෂණය කරන්න ඕනේ.”

මේ අතර, ක්‍රීඩකයින් ඉන්දීය සංචිතයට ඇතුළු වන විට ඔවුන් සිය ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් Syed Mushtaq Ali කුසලානය හෝ ඔවුන්ගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම සඳහා කුමන කාර්යභාරයක් ඉටු කළ ද එය ගැටලුවක් නොවන බව Rohit Sharma පවසා සිටියා.

අපට ඕනේ වන්නේ අපේ කණ්ඩායමේ ව්‍යුහය නිවැරදිව හදාගන්න. අපිට ඒක කරන්න යම් කාලයක් තියනවා. ඉන්දියාව විස්සයි විස්ස තරග රටාවේ විශිෂ්ට කණ්ඩායමක් වෙලා තියනවා. අපිට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරන්න බැරි වුනාට අපි කණ්ඩායමක් විදිහට ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඇත්ත වශයෙන්ම කණ්ඩායමක් විදියට අපිට පුරවගන්න අවශ්‍ය කුඩා හිස්තැන් තියනවා. කණ්ඩායමක් විදියට ඒක ලොකු අභියෝගයක් වේවි. සෑම ප්‍රතිවාදී කණ්ඩායමකම අඩුපාඩු තියනවා. අපි උත්සාහ කරන්න ඕනේ ඒවාගෙන් ප්‍රයෝජන ගන්න”, Rohit පවසා සිටියා.

ඉන්දියාවේ ක්‍රිකට් ව්‍යුහය වෙනත් කණ්ඩායමක පිටපතක් නොවන බවත්, එය ඔවුන් විසින්ම සාදා ගත් එකක් බවත් Rohit පවසා සිටියා.

අපි කිසිම් කණ්ඩායමක ව්‍යුහයක් අනුගමනය කරන්නේ නෑ. අපිට තියෙන්නේ අපිටම ආවේණික ව්‍යුහයක්. අපේ මූලික අරමුණ වෙන්නේ අපගේ කණ්ඩායමට වඩාත් සුදුසු දේ සහ අපගේ කණ්ඩායමට අවශ්‍ය දේ නිර්මාණය කිරීමයි.”

“අපේ ක්‍රීඩකයන් SMAT සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ක්‍රීඩා කරනවා. ඔවුන් ඔවුන්ගේ කණ්ඩායම්වලට වෙනස් විදියට ක්‍රීඩා කරන්නේ. ඔවුන් ඉන්දීය කණ්ඩායමට ආවම ක්‍රීඩා කරන ආකාරය වෙනස්. ඔවුන්ගෙන් කණ්ඩායමට අවශ්‍ය කරන කාර්යභාරය අපි පැහැදිලිව කියනවා. ඔවුන් ඒකට අනුවර්තනය වෙන්න තරග කීපයක් යාවි. ටිකක් කල් ගත වෙන්න පුළුවන්.”

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<