ලෝක කුසලානයක සමසත්කාරකත්වය ශ්‍රී ලංකාවට

4253

2024 සිට 2031 දක්වා පැවැත්වීමට නියමිත ICC සීමිත පන්දුවාර ලෝක කුසලාන තරගාවලි (පිරිමි) සඳහා සත්කාරකත්වය දරණු ලබන රටවල් මොනවා දැයි අද (16) ICCය නිල වශයෙන් තහවුරු කර සිටියා.

ඒ අනුව උක්ත කාලසීමාවට අදාළව ICC තරගාවලි සඳහා සත්කාරකත්වය දැක්වීමට නියමිත රටවල් ගණන 14ක්.

මෙහි දී ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 11ක් හා ටෙස්ට් වරම් නොමැති රටවල් 3ක් 2024-2031 කාලයේ දී ICC තරගාවලි සඳහා සත්කාරකත්වය දැරීමට සූදානමින් සිටිනවා.

අදාළ කාලයේ දී එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක්, T20 ලෝක කුසලාන තරගාවලි 4ක් සහ ශූරයින්ගේ කුසලාන තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.

2024 දී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේ සමසත්කාරකත්වය බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ ඇමරිකා එක්සත් ජනපදයට හිමි ව තිබෙනවා.

ඉන් මාස 8කට පසුව පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය දරණු ලබන්නේ පාකිස්තානය විසිනුයි.

1996 පැවති ලෝක කුසලානයේ දී පාකිස්තානය විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ එහි සමසත්කාරකත්වය දැරුවා. ඒ අනුව වසර 29කට පසුව ICC තරගාවලියක් සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව 2025 දී පාකිස්තානයට ලැබීමට නියමිතයි.

2026 දී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමසත්කාරකත්වය ලබා දීමට නියමිතයි.

2027 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල් සමසත්කාරකත්වය දරනවා.

2028 T20 ලෝක කුසලානය නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත අතර 2029 ශූරයින්ගේ කුසලානය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය 2030 වසරේ දී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීම සඳහා තෝරාගෙන තිබෙන අතර ඉන්දියාව සහ බංග්ලාදේශ 2031 එක්දින ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දීමට නියමිතයි.

2022 වසරේ T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය (ඕස්ට්‍රේලියාව) හා 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය (ඉන්දියාව) මීට පෙර ICC විසින් තීරණය කර තිබුණා.

සත්කාරකත්වය හිමිව ඇති රටවල් මෙසේයි,

  • 2024 T20 ලෝක කුසලානය – ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්
  • 2025 ශූරයින්ගේ කුසලානය – පාකිස්තානය
  • 2026 T20 ලෝක කුසලානය – ශ්‍රී ලංකාව හා ඉන්දියාව
  • 2027 එක්දින ලෝක කුසලානය – දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා නැමීබියාව
  • 2028 T20 ලෝක කුසලානය – ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය
  • 2029 ශූරයින්ගේ කුසලානය – ඉන්දියාව
  • 2030T20 ලෝක කුසලානය – එංගලන්තය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය
  • 2031 එක්දින ලෝක කුසලානය – ඉන්දියාව හා බංග්ලාදේශය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<