වනිඳු යාපනයෙන් මහනුවරට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

13079

ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Jaffna Kings කණ්ඩායමට ක්‍රීඩා නොකරන බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු Jaffna Kings කණ්ඩායමෙන් ඉවත්ව Kandy Warriors සමඟින් එක්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2020 සහ 2021 වසරවල දී ශූරතාවය දිනා ගැනීමට Jaffna Kings සමත් වූ අතර එහි ප්‍රධාන වගකීමක් ඉටු කිරීමට වනිඳු හසරංග සමත් වුනා.

2020 වසරේ පැවති ආරම්භක ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ වනිඳු, තරගාවලියේ දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 17ක්. ඒ තරග 10ක දීයි.

2021 වසරේ තරග 10ක දී කඩුලු 11ක් වාර්තා කළ වනිඳු වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පත්ව සිටියා. කෙසේ වෙතත් ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කඩුලු 28 ක් ලබාගෙන ඇති වනිඳු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වනවා.

මේ අතර 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Galle Gladiators කණ්ඩායමේ නායකත්වය දැරූ සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ මෙම වසරේ දී Dambulla Giants සමඟින් එක්වන බව වාර්තා වනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර 2022 වසරේ ජූලි අග දී ආරම්භ කිරීමට දින නියම කර තිබෙනවා. ඒ අනුව තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස තරගාවලිය වන ලංකා ප්‍රිමියර් තරගාවලිය මෙවර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මාසයේ දී නිකුත් කළ නිවේදනයට අනුව තරගාවලියේ මුල් තරග කොළඹ දීත්, ඉතිරි කොටස හම්බන්තොට දීත් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා මෙවරත් කණ්ඩායම් 5ක් එක්වන අතර තරග කාලසටහන ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි.

තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<