ඉන්දියාවේ සුක්කානම Bumrah හිමිවෙද්දී එංගලන්තය Buttlerට

3522

ඉන්දියාව හා එංගලන්තය අතර පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (01) Edgbaston හිදී ආරම්භ වුනා. ඉන්දීය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah මේ තරගයේ දී ඉන්දියාව මෙහෙයවීමට නියමිතයි.

ඉන්දියාව හා එංගලන්තය අතර එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතයි. විස්සයි විස්ස තරගාවලිය ජූලි 7 වැනිදා ආරම්භ වන අතර එක්දින තරගාවලිය ජූලි 12 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

සීමිත පන්දුවාර තරගාවලිවල දී ඉන්දියාව මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ නිත්‍ය නායක Rohit Sharma හටයි. විවේකයකින් පසුව Jasprit Bumrah ද කණ්ඩායමට එක්වීමට නියමිත අතර Virat Kohli හා Ravindra Jadeja ද තරගාවලි කිහිපයකට පසුව කණ්ඩායම හා එක්වීමට නියමිතයි.

අයර්ලන්තයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියට කැඳවා නොතිබුණු Arshdeep Singhව එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට කැඳවා තිබෙනවා. IPL තරගාවලියේ ඉහළ දස්කම් දැක්වූ Umran Malik එක්දින කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර අයර්ලන්තයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දියාව මෙහෙයවූ Hardik Pandya නැවත වතාවක් එක්දින කණ්ඩායමට වරම් දිනාගෙන තිබෙනවා. Shikhar Dhawan ද කලකට පසුව ඉන්දීය එක්දින කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක්.

මේ අතර නායකයා ලෙස සිය මංගල තරගාවලිය ක්‍රීඩා කරන්නට Jos Buttler සූදානමින් සිටිනවා. Eoin Morganගේ නික්ම යාමෙන් අනතුරුව හිස්වුණු එංගලන්ත සීමිත පන්දුවාර නායකත්වය සුපිරි ක්‍රීඩක Jos Buttlerට පැවරුණා. එක්දින තරග 151ක්, විස්සයි විස්ස තරග 88ක් ක්‍රීඩා කර තිබෙන Buttler 2015 වසරේ සිට එංගලන්ත උපනායකයා වශයෙන් කටයුතු කළා.

“Jos දශකයකට වඩා කාලයක් අපේ සීමිත පන්දුවාර කණ්ඩායම්වල සිටියා වගේම ඔහු කණ්ඩායම ක්‍රීඩා කරන විලාසය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් බවට වෙනස් කරන්නට මුල් වුනා”, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂක Rob Key පවසා සිටියා.

මම හිතනවා මේ වගකීම ඔහුගේ ක්‍රීඩාව වෙනත්ම මානයකට රැගෙන යාවි කියලා.”

නෙදර්ලන්තයත් සමඟ පැවති එක්දින තරගාවලියේ තරග දෙකක දී ලකුණු 248ක් රැස් කරන්නට Buttler සමත් වුනා. IPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ද වෙමින් ලකුණු 863ක් රැස් කරන්නට Buttler සමත් වුනේ ශතක හතරක් ද සමඟිනුයි.

මම මගේ ස්තුතිය පළ කරන්න කැමතියි Eoin Morganට හා ඔහුගේ විශිෂ්ට නායකත්වයට. හැමෝටම ඒක මතක හිටින කාලයක්”, Buttler පවසා සිටියා. “ඔහු විශේෂ නායකයෙක්. ඔහු යටතේ ක්‍රීඩා කරන්නට ලැබීම විශිෂ්ටයි. මම ඔහුගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තිබෙනවා.”

එංගලන්තය බිහි කළ සාර්ථකම එක්දින ක්‍රිකට් නායකයා ලෙස Morgan, එංගලන්තයට 2019 වසරේ දී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ද දිනා දෙන්නට සමත් වුනා.

Times of India හා Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<