මහීෂ් සහ වනිඳු T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ICC Men's Rankings

182

නවතම ICC ශ්‍රේණිගත කිරීම් හි විස්සයි විස්ස පන්දු යවන්නන් අතරේ මුල් ස්ථාන තුන අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග විසින් සමත් වී තිබෙනවා. 

ඊයේ (13) දිනයෙන් යාවත්කාලීන වූ මෙම ICC ශ්‍රේණිගත කිරීම් හි විස්සයි විස්ස පන්දු යවන්නන් අතරේ දෙවැනි ස්ථානය මහීෂ් හටත්, තෙවැනි ස්ථානය වනිඳු හටත් හිමි වී තිබෙනවා. 

ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය තවදුරටත් එංගලන්තයේ Adil Rashid සතු වන අතර, මෙතෙක් කල් එහි දෙවැනි ස්ථානයේ රැඳුණු කොදෙව් ක්‍රීඩක Akeal Hosein සිව් වැනි ස්ථානය දක්වා පහතට වැටී තිබීම විශේෂත්වයක්. 

එමෙන්ම වනිඳු තවදුරටත් විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානය රැක ගැනීමට ද සමත් වී තිබෙනවා. 

මේ අතර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි 8 වැනි ස්ථානයේ රැඳී සිටි මහීෂ් තීක්ෂණ ස්ථාන දෙකක් පහතට වැටෙමින් 10 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. නිමා වූ සිම්බාබ්වේ සහ දැන් පැවැත්වෙන ඇෆ්ගනිස්තාන එක්දින තරගවලින් හිදි මහීෂ් පන්දුවෙන් එතරම් සාර්ථක නොවීම මෙයට හේතුව ලෙස වටහා ගත හැකි. 

කෙසේ වෙතත් මෙම තරගවල දී අතිශය සාර්ථක වූ වනිඳු හසරංග එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින් 26 වැනි ස්ථානයට පත් වීමට සමත් වීම විශේෂත්වයක්. ඊට අමතරව ඩිල්ශාන් මදුශංක ද ස්ථාන හතරක් ඉදිරියට පැමිණෙමින් එහි 33 වැනි ස්ථානයේ රැඳෙනවා. 

කෙසේ වෙතත් එක්දින පන්දු යවන්නන් අතරේ පළමු ස්ථානය තවදුරටත් දකුණු අප්‍රිකාවේ Keshav Maharaj සතුවයි පවතින්නේ. 

මේ අතර ඇෆ්ගනිස්තානයට එරෙහිව විශිෂ්ට ද්විත්ව ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංක එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 10ක් ඉදිරියට පැමිණෙමින් 18 වැනි ස්ථානයට පත් වීමට සමත් වීම ද විශේෂත්වයක්. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<