Shamar Joseph කොදෙව් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි!

ICC Men's Player of the Month

699

2024 ජනවාරි මාසය සඳහා ICC ක්‍රීඩකයා සම්මානය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Shamar Joseph හට හිමි වී තිබෙනවා.

ගෙවුණු මාසයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව, ඕස්ට්‍රේලියාවේ දී ම Shamar විසින් පන්දුවෙන් සහ පිත්තෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් Shamar විසින් සිය මංගල පන්දුවෙන් ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Steve Smithගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනා. එතෙකින් ද නොනැවතුණු Shamar සිය මංගල ටෙස්ට් ඉනිමේ දී ම කඩුලු 5 දස්කමක් ද ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

මීට අමතරව ඔහු මෙම තරගයේ දී ඉනිම් දෙක තුළ ලකුණු 36ක් සහ 15ක් බැගින් ලබා ගැනීමට ද සමත් වුනා.

කෙසේ වෙතත් මුලු ලෝකයේ ම අවධානය Shamar කෙරෙහි යොමු වීමට පටන් ගත්තේ දෙවැනි ටෙස්ට් තරගයේ නිමාවත් සමඟයි. මෙහි දී ලකුණු 216ක ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ කඩුලු 7ක් ලකුණු 68ක් තුළ බිඳ හෙළීමට Shamar විසින් සමත් වුනා. පාදයේ ආබාධයක් ද සහිතව ඔහු විසින් සිදු කල මෙම විශිෂ්ට පන්දු යැවීම නිසා තරගයේ වීරයා සම්මානය ඔහුට පිරිනැමුණ අතර, තරගාවලියේ වීරයා සම්මානය ද ඔහුගේ නම ඉදිරියෙන් ලියැවුණා.

මේ අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉතිහාසගත ටෙස්ට් ජයග්‍රහණයක් කරා සිය කණ්ඩායම රැගෙන ගිය මෙම 24 හැවිරිදි යෞවනයා විසින් ICC ජනවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගනු ලබනවා. එමෙන්ම මේ සමඟම 2021 වසරේ දී ICCය විසින් මාස් පතා ලබා දෙන මෙම සම්මානය හඳුන්වා දීමෙන් අනතුරුව, එම සම්මානය හිමි කර ගත් පළමු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා ලෙස ද Shamar Josephගේ නම ඉතිහාසයේ ලියැවෙනු ඇති.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<