නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සද්දන්ත නියමුවා ‘ෆ්ලෙම්’

206
©Photo by Dean Treml-Getty Images

ඔහු ගැන කතා කරන්නට පෙර ඇය ගැන කතා කළ යුතුමය. නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ සාර්ථකම නායකයා ක්‍රමානුකූලව ඉහළට ඔසවා තැබූ ඇයගෙන් ලිපිය ආරම්භ කළ යුතුමය.

පව්ලින් ෆ්ලෙමිං නම් ඇය දෙවන ලෝක යුද්ධය අවසාන වී ලෝකය නැවත ලෝකය යථා තත්ත්වයට පත් වෙමින් සිටි සමයෙක නවසීලන්තයේ කැන්ටබරි’හීදී උපත ලැබුවාය.

1973 වසර සෙසු නවසීලන්ත ජාතිකයින්ට මෙන්ම ඇයට ද සුවිශේෂී අවුරුද්දක් විය. ඇයට මාතෘත්වය ලබා දෙමින් ස්ටීවන් උපන්නේ 1973 වසරේ දී ය. නමුත් ස්ටීවන්ගේ උපත ඇයට කල්පනා කරන්නට බොහෝ දේවල් ඉතිරි කර තිබුණි.

තමා ගැබ් ගත් බව දැන ගත් මොහොතේ ඇය තරමක් දුරට තිගැස්සී ගියාය. ඇය අවිවාහකය. ගැරී කර්ක් සහ පව්ලින් ෆ්ලෙමිං අතර තිබූ කෙටි කාලීන සම්බන්ධතාවය කෙළවර වූයේ පව්ලින් ගැබ් ගැනීමෙනි. හැත්තෑ ගණන්වල නවසීලන්තය වැනි රටක වුව අවිවාහක මවක් දෙස සමාජය බැලුවේ වපරැසිනි. ඇය එය නොදැන සිටියා නොවේ. නමුත් ස්ටීවන් වෙනුවෙන් ලෝකයෙන් පැමිණෙන සියලුම අපවාදවලට මුහුණ දෙන්නට ඇය තීරණය කර තිබුණාය.

අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

අක්ෂේ කුමාර් ………….

“අපිට ඉපයූ සියල්ල ඉතාම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න සිදු වුනේ. ආර්ථික වශයෙන් අපිට වෙනත් ආදායම් මාර්ග තිබුණේ නැහැ. ඇය ඉතා වගකීම් සහගතව සහ විශාල ධෛර්යයක් ඇතිව ක්‍රියා කළා. සාමාන්‍ය ජීවන රටාවෙන් පිට වෙනත් කිසිදු දෙයකට වැය කරන්නට අපිට වත්කමක් තිබුණේ නැහැ”

ස්ටීවන්ට සිය මවගේ වගකීම් සහගත ජීවිතය ගැන ඇත්තේ එවන් මතකයකි.

පව්ලින් ෆ්ලෙමිං සහ වසරක් වයසැති ස්ටීවන් ©Balance of Power

“වරක් පාසලේ දී මට අසනීප තත්වයක් ඇති වුනා. මා සතුව තිබූ පාපැදියේ නැගී ගෙදර එන අතරවාරයේ බයිසිකලයේ පැඩලයෙන් මගේ පාදය ලිස්සා ගොස් අනතුරකට ලක් වුනා. මගේ දණහිසේ කොටසක් සම්පූර්ණයෙන්ම තුවාල වී තිබුණේ. ඇය වැඩ නිමා වී ගෙදර එන විට මා බොහොම දරුණු තත්ත්වයක හිටියේ

‘එන්න අපි යමු ක්‍රිකට් පිත්තක් ගන්න’ ඇය පැවසුවා.

‘ස්ලැසෙන්ජර් V6’ ක්‍රිකට් පිත්ත මුල්ම වරට මගේ සන්තකයට ලැබෙන්නේ එදා. බොහෝ කාලයක් යන තුරු එය මා සන්තකයේ තිබුණා. වෙනත් දරුවන්ට වඩා මම මගේ ක්‍රිකට් ආම්පන්න වලට සෑහෙන ආදරය කළා.”

ස්ටීවන් ෆ්ලෙමිං නම් පසු කලෙක නවසිලන්ත සුක්කානම බාර ගත් නියමුවා තමාට මුල්ම ක්‍රිකට් පිත්තක් ලැබුණ ආකාරය කියන්නේ එහෙමය.

ඔහුට එය මහනර්ඝ වස්තුවක් විය. වයසින් වැඩෙත්ම වඩාත් උසස් ක්‍රිකට් ආම්පන්නවලට යොමු වන්නට සිදුවුවද තමාට මුලින්ම ලැබුණ ස්ලැසෙන්ජර් ක්‍රිකට් පිත්තට ඔහුගේ සිතේ තිබුණේ ඉමහත් ගෞරවයකි.

අවදානම් ගන්නට ඔහුට හැකියාවක් තිබුණේ නැත. ජීවන අරගලය වෙනුවෙන් තමාගේ මව කරන කැපවීම ස්ටීවන් හොඳින්ම දැන සිටියේය. 

වරක් ස්ටීවන් අතින් ඔහුගේ මෝටර් රථය සුළු අනතුරකට පත්විය. එය තනි අතට දිවෙන මං තීරුවක දී සිදු වූ සුළු අනතුරකි. පව්ලින්ගේ මෝටර් රථයට සීරීම් පහරවල් හැරුණු කොට වෙනත් කිසිදු ආපදාවක් සිදු වූයේ නැත. නමුත් මේ අනතුර නිසාවෙන් ස්ටීවන් දැඩි කැලඹීමකට පත්ව සිටියේය. සිය මව කෙතරම් පවුලේ ආර්ථිකය වෙනුවෙන් ඇප කැප වන ආකාරය ඔහු හොඳින්ම දැන සිටි අතර කිසිම ආකාරයකින් අමතර බරක් ඇයට ලබා දෙන්නට ඔහු කැමති වූයේ නැත.

“වයසින් වැඩෙත්ම මට වඩාත් පහසුකම් ඇති සහ ආර්ථික තත්ත්වය යහපත් දරුවන් සමගයි ක්‍රීඩා කරන්නට ලැබුණේ. ඔවුන් සතුව ක්‍රිකට් ක්‍රීඩාවට ගැළපෙන නවීන ආම්පන්න තිබුණා. නමුත් ඒ කිසිවෙකු තම ආම්පන්නවලට කිසිම ගරු කිරීමක් තිබුණේ නැහැ. එය මට තරමක කම්පාවක් ඇති කළේ. 

මට හැමදාම වුවමනා කළේ යහමින් මුදල් ලැබෙන කාලයක මගේ මවට නව නිවසක් මිලට ගැනීමට. පවුලක් වශයෙන් අපට තිබූ ආර්ථික අපහසුතාවන් ඉතා කුඩා අවධියේ දී ම මා වඩාත් වගකීම් සහගත මිනිසෙකු බවට පත් කළා.”

වයස අවුරුදු හතක් පමණ වෙද්දී තමන්ගේ වයසේ සෙසු දරුවන්ට වඩා සෑහෙන ඉදිරියෙන් සිටින්නට ස්ටීවන්ට හැකියාවක් ලැබුණි.

තමන්ගේ නිවසේ සිට විනාඩි පහළොවක ඇවිද යන දුරකින් ඇති ක්‍රීඩා පිටියට මුලින්ම යෑමත් සියල්ලම පිටත්ව යන තුරු එහි රැඳී සිටීමත් ස්ටීවන්ගේ දෛනික ජීවිතයේ කොටසක්ව පැවතුණි. එමගින් ස්ටීවන් ක්‍රීඩාව සහ තරගකාරීත්වය ගැන ඉගෙන ගත් දේ බොහෝය. ක්‍රිකට් හෝ රග්බි කියා එහි වෙනසක් තිබුණේම නැත.

වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය බවට ……….

ෆ්ලෙමිං ඇතුළු නඩය ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබූ වාර්තා සියල්ල සටහන් කර තබන්නට පුරුදු පුහුණු විය. තමන් වාර්තා කරන ලකුණු සංඛ්‍යාව, ලබා ගන්නා කඩුලු සංඛ්‍යාව, රැක ගත් උඩපන්දු ගණන මෙන්ම යැවූ පන්දු ගණන පවා ඒ අතර විය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ප්‍රකාශ කරන්නට හැකි අන්දමින් තමාගේ ලකුණු සටහන් තමා විසින්ම සනිටුහන් කර තබන්නට ෆ්ලෙමිං ඇතුළු පිරිස පුරුදු පුහුණු විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ටීවන්ගේ ගමන නවත්වන්නට කිසිවෙකු සිටියේ නැත. විවිධ වයස් මට්ටම් ඔස්සේ ඔහු දිනෙන් දිනම ජාතික තලයට ළඟා විය.

ස්ටීවන් සිය මව සමඟ කෙතරම් බැඳීමක් පැවතියත් ඔහුගේ පියා සම්බන්ධයෙන් කිසිවෙකුට අදහසක් තිබුණේ නැත. වයස 16ක් පිරෙන තෙක් ස්ටීවන්ට ගැරී කර්ක් නම් තම පියා මුණ ගැසී තිබුණේ ද නැත.

කර්ක් පළමු වරට ස්ටීවන් තමාගේ වැඩිමහල් පුත්‍රයා බව ලොවට හෙළි කරන්නේ 2004 වසරේ දී ය.

ස්ටීවන් ඉන්දියාවට එරෙහිව හැමිල්ටන් නුවර දී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු කර්ක් තම කාර්‍යාලයේ සගයන් සමග නැරඹූ අතර එහි දෙවන ඉනිමේ දී ස්ටීවන් ලකුණු 92ක් රැස් කළේය. 

“මම ඉතා උද්දාමයට පත්වෙලා හිටියේ. ඔහු ලකුණු 92ක් රැස් කළා. නමුත් මගේ සගයන් ඉදිරියේ ඒ මගේ පුතා කියා කියන්න මට හැකියාවක් තිබුණේ නෑ.” 

කර්ක් පසු කලෙක ලෝකයට නිරාවරණය වෙමින් පැවසුවේය.

එලෙස ටෙස්ට් වරම් දිනා ගත් ස්ටීවන් ෆ්ලෙමිං 1996/97 සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඕක්ලන්ඩ් නුවර දී සිය ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කර ගත්තේය.

එමෙන්ම එම තරගාවලියේ තෙවැනි තරගය වන විට ලී ජර්මෝන්ගෙන් ගලවා ගත් නවසීලන්ත නායකත්වය ස්ටීවන් මත පටවන්නට නවසීලන්ත බලධාරීන් තීරණය කර තිබුණි.

බොහෝ විචාරකයින්ට අනුව ස්ටීවන් ෆ්ලෙමිං යනු ක්‍රිකට් පිටියක දුටු අතිශය උපක්‍රමශීලී නායකයෙකු ලෙස කියවේ. ඔහුගේ සමකාලීන ක්‍රීඩකයින් අතර මේ මතය ඉහළින්ම තිබුණි.

ෂේන් වෝන් වැන්නෙකු ස්ටීවන් ෆ්ලෙමිං යනු තමා දුටු විශිෂ්ටතම නායකයෙකු ලෙස පැවසීමෙන් ඒ බව මනාව තහවුරු වෙයි.

වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු බලඇණියක සිටි ………….

2000 වසරේ කෙන්යාවේ නයිරෝබි නුවර දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජයග්‍රහණය කිරීම නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාව ස්ටීවන් ෆ්ලෙමිංගේ නායකත්වයෙන් ලද විශිෂ්ටතම ජයග්‍රහණයකි.

2000 වසරේ කෙන්යාවේ නයිරෝබි නුවරදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිළිමළුන් පිටු දැකීමේ තරගාවලිය ජයගත් නවසීලන්ත කණ්ඩායම. ©Getty Images

2007 වසරේ සැප්තැම්බරයේ ඩැනියෙල් විටෝරි නවසීලන්ත නායකත්වයට පත්වන තෙක්ම ස්ටීවන් නවසීලන්ත නායකයා ලෙස තම ධූරයේ කටයුතු කළේය. 2008 වසරේ ස්ටීවන් ෆ්ලෙමිං ක්‍රීඩාවෙන් සමුගනිමින් සිය අවසන් ටෙස්ට් තරගයේ ඉනිම දෙකේම අර්ධ ශතක වාර්තා කර ගත්තේය.

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව 2008 වසරේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ස්ටීවන් ෆ්ලෙමිං 2009 වසරේ සිට එහි පුහුණුකරු වෙමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලබා දුන් ජයග්‍රහණ රැසක් වෙයි.

ඉතාම ඉහළ ක්‍රිකට් බුද්ධියක් ඇති, ඉතාම උපක්‍රමශීලී නායකයෙකු ලෙස සැලකෙන ස්ටීවන් ෆ්ලෙමිං අදටත් නවසීලන්ත කණ්ඩායමක් මෙහෙය වූ සාර්ථකම නායකයා යන විරුදාව ලබයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<