ඉසිපතනය නිරුත්තර කරමින් පීතරයින් අවසන් සටනට

315

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය අද(13) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුණු අතර එහි දී ඉතා උණුසුම් තරගයකින් ලකුණු 19-14ක් ලෙස කොළඹ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමේ භාග්‍ය උදාකර ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විදුහල් කණ්ඩායම සමත් විය.

නුවරින් ආ අමුත්තන් කොළඹ දී පරාජය වේ!

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි අවසන් පූර්ව තරගය වෙස්ලි….

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය තම අර්ධ අවසන් පූර්ව වටයේ තරගයන් හීදී පිළිවෙළින් මහනුවර කිංග්ස්වුඩ් සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයන් පරාජයට පත්කරමින් අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසිමේ දොරටු විවෘත කරගත්හ.

ඊයේ දිනයේ දී පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී මහනුවර විද්‍යාර්ථ කණ්ඩායම ලකුණු 36-25ක් ලෙසින් පරාජයට පත්කරමින් අවසන් මහා තරගයේ සිය ආසනය වෙන්කරවා ගැනීමට කොළඹ වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමට හැකි විය.

උදෑසන කාලය දී ඇඳ හැළුණු වර්ෂාවත් සමඟ ක්‍රීඩා පිටිය තරමක තෙත් සහ ලිස්සන සුළු ස්වභාවයක් පෙන්නුම් කළ අතර කණ්ඩායම් දෙකම තරග ආරම්භයේ සිටම පවතින පරිසර තත්වයන්ට ඉතා ඉක්මනින් අනුගත වෙමින් ඔවුන්ට සුපුරුදු වේගවත් සහ ආක්‍රමණශීලී තරග රටාවන්ට අවතීර්ණ  වනු දැකගන්නට ලැබුණි.

සාන්ත පීතර කණ්ඩායමේ තෙනුක නානායක්කාරගේ පා පහර ගුවනට මුසුවනවාත් සමඟම තරගයේ ආරම්භය සනිටුහන් වූ අතර තමන්ට ලැබුණු අවස්ථාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් පන්දුවේ පාලනය තම ග්‍රහණයට නතු කරගැනීමට වඩාත් යුහුසුලු විය.

තරගයේ මුල් විනාඩි කිහිපය තුල කණ්ඩායම් දෙකම උපායශීලීව කටයුතු කරමින් එකිනෙකාගේ දුර්වල ස්ථානයන් හඳුනා ගැනීමට වඩාත් උනන්දු වූ අතර සාන්ත පීතර විදුහල් ක්‍රීඩකයින් හට එසේ ලද අවස්ථාවකින් උපරිම ඵල නෙලාගැනීමට හැකි වූයේ ඉසිපතන ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් නිසියාකාරව තම කාර්‍යභරය ඉටු කිරීමට අපොහොසත් වූ නිසාවෙනි.

සාන්ත පීතර කණ්ඩායමේ ඉෂාන් ප්‍රනාන්දු ඉතා වේගවත් ධාවනයක නිරත වෙමින් උත්සාහක දිනුම රේඛාව පහසුවෙන් ඉක්මවා යාමට සමත් වූ අතර තෙනුක නානායක්කාර ඉෂාන්ගේ වෑයමට වටිනාකමක් එක්කර දෙමින් අමතර ලකුණු ද්විත්වය කණ්ඩායම වෙත හිමිකර දීමේ කාර්‍යභරය මැනවින් ඉටු කරන ලදි. (සාන්ත පීතර 07 – 00 ඉසිපතන)

පීතරයන්ගෙන් එල්ල වූ අභියෝගය හමුවේ නොසැලුණු ඉසිපතන ක්‍රීඩකයින් එතෙක් වේලා තමන් ක්‍රීඩා කළ ආක්‍රමණශීලී තරග රටාවෙන් අපගමනය නොවී දිගින් දිගටම ප්‍රතිවාදී කණ්ඩායම වෙත පීඩනය යොමු කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉසිපතන කණ්ඩායමේ සරිඳු සිහසර තමන් වෙත ලැබුණු පන්දුව සුරක්ෂිතව ධවල රේඛාවෙන් ඔබ්බට ගෙන යාමට සමත් විය. සාන්ත පීතර ක්‍රීඩකයින් ඉසිපතන කණ්ඩායමේ එම උත්සාහක දිනුම නතර කරලීමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් ඔවුන්ගේ එම වෑයම ඒ සඳහා ප්‍රමාණවත් නොවීය. මනුල රත්නායකගේ පා පහර පන්දුව නිවැරදි ඉලක්කය වෙත රැගෙන යාමට තරම් ප්‍රමාණවත් විය. (සාන්ත පීතර 07 – 07 ඉසිපතන)

පළමු අර්ධය නිමා වීමට සුළු මොහොතක් ඉතිරිව තිබිය දී තරගයේ පෙරමුණ ගැනීමට තිබූ අවස්ථාවක් ඉසිපතන කණ්ඩායම අතින් ගිලිහී ගියේ උදාකරගත් දඬුවම් පහර අවස්ථාව නිසි අයුරින් ගෝල කණු අතරින් පාකර හැරීමට අපොහොසත් වූ නිසාවෙනි.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 07 (1T,1C) – 07 (1T,1C) ඉසිපතන විද්‍යාලය

පළමු අර්ධය නිමා වීමට මත්තෙන් ඉසිපතන කණ්ඩායමේ ටිලාන් කොඩිකාරගේ හට කහ කාඩ්පතක් ලබා දීමට ප්‍රධාන විනිසුරු ඉෂංක අබේකෝන් මහතා කටයුතු කළ අතර එම නිසා දෙවන භාගය ක්‍රීඩකයින් දාහතර දෙනෙකුගේ සේවය පමණක් ලබාගනිමින් ආරම්භ කිරීමට ඉසිපතනයට සිදු විය.

දුර්වල වූ ඉසිපතන ආරක්ෂක වැටේ සියුම් හිඩැස් සොයා යමින් ඉදිරියට ඇඳුණු සාන්ත පීතර කණ්ඩායමේ රවීන් ප්‍රනාන්දු තම දැකුම්කළු පාද චලනයන් සහ වේගවත් ධාවන රටාවන් උපයෝගී කරගනිමින් ඉතා පහසුවෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එකවර මුලා කිරීමට සමත් විය. ඒ අනුව පීතර කණ්ඩායමට දිනයේ දෙවන උත්සාහක දිනුම දිනා දීමේ ගෞරවය හිමිකරදුන් රවීන්ට අනගි සහයක් ලබා දෙමින් තෙනුක ඉතා පහසුවෙන්ම ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගත්තේය. (සාන්ත පීතර 14 – 07 ඉසිපතන)

සාන්ත පීතර කණ්ඩායමේ පන්දු පාලනය මෙම තරග වාරයේ සෙසු තරගයන්ට සාපේක්ෂව තරමක් පසුගාමී මට්ටමක පැවති අතර ඉසිපතන කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් ද ඇතැම් අවස්ථාවන්හී සන්නිවේදන දුර්වලතාවන් සුලබව දිස් වීම මෙහි දී වඩාත් කැපී පෙනුණි.

උත්සාහක දිනුම් රේඛාවට මීටර් 5ක් පමණ ආසන්න දුරකින් උදාකරගත් Scrum අවස්ථාවෙන් නිසි ඵල නෙලා ගත් ඉසිපතන ක්‍රීඩකයින් නැවත වතාවක් තරගය දෙපිලටම විවෘත කර දෙමින් ඔවුන්ගේ දෙවන ප්‍රවර්තිත උත්සාහක දිනුම සාර්ථක කරගැනීමට සමත් විය. දහම් වික්‍රමාරච්චි විසින් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර මනිල්ක රුබේරු විසින් එය ප්‍රවර්තනය කරන ලදි. (පීතර 14 – 14 ඉසිපතන)

සාන්ත ජෝන් ප්‍රහාරයෙන් සාන්ත තෝමස් තරගාවලියෙන් ඉවතට

මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද…

තරගයේ අවසාන භාගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර දෙපිලේම ක්‍රීඩකයින් ප්‍රවේගකාරී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වෙමින් තම කණ්ඩායම කෙසේ හෝ ජයග්‍රහණය කරා රැගෙන යාමේ දැඩි ප්‍රයත්නයක නිරත විය.

ඒ අනුව යලිත් වතාවක් තරගයේ වැඩි වාසි සාන්ත පීතර කණ්ඩායම දෙසට දෝලනය වීමට ආරම්භ වූයේ ඉෂාන් ප්‍රනාන්දු දිනය තුල වාර්තා කළ තමන්ගේ දෙවන උත්සාහක දිනුමෙන් පීතර ලකුණු පුවරුව වර්ණවත් කිරීමට සමත් වීමත් සමඟිනි. නමුත් තමන්ට ලැබුණු ප්‍රවර්තන අවස්ථාව අපතේ හැරී තෙනුක නානායක්කාර ඉසිපතන කණ්ඩායමට තරමක හෝ බලාපොරොත්තුවක් ලබා දෙමින් තරගයේ තීරණය වෙනස් කිරීමට අවසන් අවස්ථාවක් ලබා දුන්නේ තියුණු අවසානයක් සඳහා අවශ්‍ය මඟපාදා දෙමිනි. (සාන්ත පීතර 19 – 14 ඉසිපතන)

නමුත් එම ලද අවස්ථාවන් සියල්ලම පාහේ ඉතා අවාසනාවන්ත අයුරින් මඟ හරවා ගත් ඉසිපතන කණ්ඩායම හට පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගැනීමට සිදු වූයේ සාන්ත පීතර කණ්ඩායමට අවසන් මහා තරගය දක්වා ගමන් කිරීමට අවශ්‍ය මාර්ගය එළිපෙහෙළි කරදෙමිනි.

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 19 (3T,2C) – 14 (2T,2C) ඉසිපතන විද්‍යාලය 

ThePapare.com තරගයේ වීරයා – රවීන් ප්‍රනාන්දු(සාන්ත පීතර)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

සාන්ත පීතර විද්‍යාලය

  • උත්සාහක දිනුම් – ඉෂාන් ප්‍රනාන්දු 2, රවීන් ප්‍රනාන්දු 1
  • ප්‍රවර්තන – තෙනුක නානායක්කාර 2

ඉසිපතන විද්‍යාලය 

  • උත්සාහක දිනුම් –  සරිඳු සිහසර 1, දහම් වික්‍රමාරච්චි 1
  • ප්‍රවර්තන – මනිල්ක රුබේරු 2

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<