ස්කොට්ලන්තය Sandeep සමඟ අතට අත දීම පවා ප්‍රතික්ෂේප කරයි!

ICC's Cricket World Cup League 2

1327

ඊයේ (17)  නේපාලය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වුණු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 3ක පරාජයකට උරුමකම් කීමෙන් අනතුරුව ස්කොට්ලන්ත ක්‍රීඩකයින් නේපාල දඟපන්දු යවන ක්‍රීඩක Sandeep Lamichhane සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම තරගය ICC’s Cricket World Cup League 2 තරගාවලිය යටතේ මේ දිනවල නැමීබියාව, ස්කොට්ලන්තය සහ නේපාල කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ඊයේ නේපාලයේ Kirtipur හිදී  පැවැත්වුණා.

මෙම තරගාවලිය වෙනුවෙන් ලිංගික අපචාර චෝදනා ලැබ ඇප මත නිදහස් වී සිටින නේපාල ක්‍රීඩක Sandeep Lamichhaneව නේපාල සංචිතයට එක් කළ අතර, ඔහු ඊයේ ස්කොට්ලන්තය සමඟ තරගය ක්‍රීඩා කළා.

ඔහුව මෙම තරගාවලියට එක් කර ගැනීමට විරෝධය පළ කිරීමක් ලෙස ඊයේ තරගය නිම‍ා වීමෙන් පසුව ස්කොට්ලන්ත ක්‍රීඩකයින් ඔහු සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කළ නමුත් ඔවුන් අනෙක් සියලු ම නේපාල ක්‍රීඩකයින් සමඟ කිසිදු පැකිළීමකින් තොරව සුහදව ගනුදෙනු කරන ආකාරය දිස් වුනා.

මීට පෙර Lamichhane විසින් ලබා තිබූ චෝදනා නිසා නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට තරග තහනමක් පනවා තිබුණ ද, මෙම තරගාවලියට ප්‍රථම එම තහනම ඉවත් කර ඔහුව නේපාල සංචිතයට එක් කිරීම නිසා ස්කොට්ලන්ත ක්‍රීඩකයින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කරන්නට ඇති බව අනුමාන කළ හැකි.

එමෙන්ම මීට පෙර Lamichhaneගේ තහනම ඉවත් කරමින් ඔහුව මෙම තරගාවලියට පෙර පැවැත්වුණු පුහුණු කඳවුරකට සහභාගී කරවන අවස්ථාවේ ස්කොට්ලන්ත සහ නැමීබියා ක්‍රිකට් ආයතන මගින් එයට යම් විරෝධයක් ඉඟි මගින් පළ කර තිබුණා.

මීට පෙර මෙම තරගාවලියේ පැවැත්වුණු නැමීබියාව සහ නේපාලය අතර තරගයේ දී ද නැමීබියා ක්‍රීඩකයින් Lamichhane සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබුණා.

එම තරගය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔහු ලද ලිංගික අපචාර චෝදනාවෙන් පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ පළමු තරගය ද වූ අතර ඔහු එහි දී නැමීබියා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 66කට බිඳ හෙලීමට සමත් වුනා. එමෙන්ම ඔහු සිය නැවත පැමිණීමෙන් පසු බිඳ හෙලූ පළමු කඩුල්ල හේතුවෙන් තරමක් සංවේදී වෙමින් කඳුලු සලනා ආකාරය ද සමාජ මාධ්‍ය ඔස්සේ තරමක් ප්‍රචලිත වුනා.

එම තරගයේ දී නැමීබියාව පරදවමින් කඩුලු 2ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට නේපාල කණ්ඩායම සමත් වූ අතර, ඊයේ ස්කොට්ලන්ත කණ්ඩායම ද කඩුලු 3කින් පරාජය කිරීමට නේපාලය සමත් වුනා.

එම තරගයේ දී ද විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට Lamichhane සමත් වුනේ සිය පන්දුවාර 10 තුල ස්කොට්ලන්තයට ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළමිනුයි.

එමෙන්ම මේ වන විට එම තරගාවලියේ තවත් තරගයක් නේපාලය සහ නැමීබියාව අතර පැවැත්වෙන අතට එහි දී ද Lamichhane මේ මොහොත වන විට කඩුලු 3ක් බිඳ හෙලා තිබෙනවා.

Lamichhaneගේ මෙම නැවත පැමිණීම ඔහු වෙනුවෙන් පෙනී සිටින රසික ප්‍රජාවගේ සතුටට මෙන්ම, ඔහු ලද චෝදනා නිසා ඔහුට අප්‍රසාදය පළ කරන අයගේ නොසතුටට ද හේතු වී තිබෙනවා. එම නිසා මෙම නැවත පැමිණීම නේපාලයේ මහජන විරෝධතා ඇති වීමට පවා හේතුවක් වුනා.

කෙසේ වෙතත් Sandeep Lamichhane විසින් නම් තමන්ට එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<