ශ්‍රී ලංකා ක්‍රිකට් Casual Clothing අනුග්‍රාහකත්වය යලි අලුත් වෙයි

273

බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාන්‍ය නිල ඇඳුම් (Casual Clothing) අනුග්‍රාහකත්වය යළි අලුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාඩම්බර අනුග්‍රාහකයා බවට ලෝන්ග් අයිලන්ඩ් (Clothing) සමාගම (LICC) පත්ව සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) අලුයම් කාලයේ දී කොදෙව් සංචාරය සඳහා පිටත්ව ගියේ විවිධ බැක්ටීරියාවන් වලින් ඉහළ ආරක්ෂාවක් සහ ආවරණයක් ලබා දෙන අයුරින් LICC විසින් නිර්මාණය කර ඇති ඩෙනිම් කලිසම්වලින් සහ වර්ණවත් ටී ෂර්ට් වලින් සැරසෙමිනි. 

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාන්‍ය නිල ඇඳුම් සඳහා වන අනුග්‍රාහකත්වයේ කොටසක් ලෙසින් පැමිණෙන අතරම එය 2020 වසරේ සැප්තැම්බර් 01 වැනිදා සිට ඉදිරි වසර 3ක කාලය සඳහා බලපැවැත්වෙනු ඇත. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මේ සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා සහ හයිද්‍රාමනී සමූහයේ අධ්‍යක්ෂ විනෝද් හයිද්‍රාමනී යන මහතා අත්සන් තැබූහ. 

එහි දී අදහස් දක්වා සිටි හයිද්‍රාමනී සමූහයේ අධ්‍යක්ෂ විනෝද් හයිද්‍රාමනී මහතා, “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අපගේ අනුග්‍රාහකත්වය අඛණ්ඩව පවත්වා ගෙන යමින් Casual ඇඳුම් සඳහා නිල අනුග්‍රාහකයා වීම ගැන අප සතුටු වෙනවා. ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසර අප සැමට අභියෝගාත්මක වසරක් වුනා. සෑම විටම ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින LICC, බැක්ටීරියා වලින් හොඳින් ආරක්ෂා කරන ආවරණයකින් සහ ක්ෂුද්‍රජීවී විරෝධී නිමාවක් සහිත කලිසම් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අප ඉතා සතුටට පත්වෙනවා. මෙම නව්‍යකරණ නිමාව අපගේ ක්‍රිකට් කණ්ඩායමේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා විශාල ලෙසින් දායක වනු ඇතැයි අප තදින් විශ්වාස කරනවා. අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට අප ඉත සිතින් සුබ පතනවා” යනුවෙන් සඳහන් කර සිටියේය. 

අලුත් කරන ලද එම ගිවිසුම යටතේ ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගම ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්වල, ‘ඒ’ කණ්ඩායම, සංවර්ධන කණ්ඩායම සහ අවුරුදු 19න් පහළ කණ්ඩායම් සඳහා ටී ෂර්ට් සහ ඩෙනිම් කලිසම් සපයනු ඇත. 

අනුග්‍රාහකත්වය ලබා දීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය කෙරෙහි අඛණ්ඩව විශ්වාස තබා තිබීම ගැනත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කැෂුවල් ඇඳුම් සහකරුවා ලෙසින් නැවත වරක් පැමිණීම ගැනත් අප ලෝන්ග් අයිලන්ඩ් ඇඟළුම් සමාගමට ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් සඳහන් කර සිටියේය. 

සංචාරවල නියැළීමේ දී ‌භාවිතයට ගැනෙන මෙම ටී ෂර්ට් සහ ඩෙනිම් කලිසම් ලබාදීමට අමතරව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා සැලකිය යුතු ආයෝජනයක් LICC සිදු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුකරනු ලබන එම ආයෝජන වෙනුවෙන්, එකඟ වුනු කාල සීමාව තුළදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාන්‍ය නිල ඇඳුම් (Casual Clothing) අනුග්‍රාහකයා ලෙසින් වූ සන්නාමය, LICC ආයතනයේ  භාවිතයට ගැනෙන සියලු ලිපි ද්‍රව්‍ය, ප්‍රවර්ධන ද්‍රව්‍ය හා ප්‍රචාරණ දැන්වීම් සඳහා යොදා ගැනීමේ අයිතිය හිමි වනු ඇත. 

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සමඟ අඛණ්ඩව හවුල් වීමට ලැබීම ගැන අපි මහත් සතුටට පත්වන අතර ඉදිරි වසර තුන ඇතුළත දී එම සම්බන්ධතාව තවත් වර්ධනය කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. වර්තමාන සන්දර්භය තුළ තිරසාරභාවය යනු හුදෙක්ම වචනයක් නොව යථාර්ථයකි. නවීනතම රිදී අයන තාක්ෂණය මත පදනම් වූ මෙම ක්ෂුද්‍ර ජීවී නාශක රෙදිපිළි භාවිතා කිරීමෙන් අප අනවශ්‍ය ක්ෂූද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වනවා පමණක් නොව පරිසරයේ ආරක්ෂාව සඳහා ද දායක වනවා” LICCහි ප්‍රධාන විධායක නිලධාරි යසෝතරන් පරමානන්තම් මහතා සඳහන් කර සිටියේය. 

“මෙම Anti-microbial කලිසම් සාමාන්‍ය කලිසම් මෙන් දිනපතා සේදිය යුතු නොවන අතර ගෘහස්ථ සේදුම් 20ක් දක්වා එම ඩෙනිම් කලිසම් කල් පවතින බවට ඔප්පු කර තිබේ. ඒ හරහා ජලය ඉතිරි කිරීමේ හැකියාව ද උදාවන අතර එය පරිසර හිතකාමීත්වයට ද දායකත්වයක් දක්වයි. තවද Anti-microbial ගුණාංගය නිසා එම ඩෙනිම් කලිසම් වෛරස, බැක්ටීරියා සහ දිලීරවලට එරෙහිව සටහන් කරනු ඇති” යැයි පරමානන්තම් මහතා වැඩිදුරටත් සිය අද්විතීය නිෂ්පාදනය පිළිබඳව වැඩිදුරටත් කරුණු සනාථ කර සිටියේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<