මෙවර අළුබඳුන තරගාවලිය වැඩිහිටියන්ට පමණයි

The Ashes 2023

5054

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් මේ දිනවල එංගලන්තයේ සිදු කරමින් සිටින තරග සංචාරය අතරතුර එංගලන්ත ප්‍රේක්ෂකයින්ගෙන් තමන්ට දරුණු අන්දමේ වාචික ප්‍රහාරවලට ලක් වීමට සිදු වී ඇති බව ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Usman Khawaja සඳහන් කරනවා.

දෙරට අතර පැවැත්වෙන 2023 අළුබඳුන තරගාවලියේ දෙවන තරගය අතරතුර සිදු වූ Jonny Bairstowගේ දැවී යාමේ සිදුවීමෙන් පසු එම තරගය පැවැත්වුණු ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාගාරය තුළ දී Usman Khawaja සහ එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයින් (MCC සාමාජිකයින්) කිහිප දෙනෙකු අතර යම් වචන හුවමාරුවක් සිදු වුනා. ඉන්පසුව MCC විසින් එම සාමාජිකයින් තිදෙනාට තහනමක් ද පැනවීමට පියවර ගෙන තිබුණා.

මෙම සිදුවීමෙන් පසුව පවා තමන්ට එංගලන්ත ප්‍රේක්ෂකයින් වෙතින් ලැබෙන පිළිගැනීම එතරම් හොඳ තත්වයක නොමැති බවයි Khawaja විසින් සඳහන් කරන්නේ.

“ක්‍රිකට් තරග නරඹන්න එන විට මගේ දරුවන් ඒ අසල සිටිනවාට මම නම් පෞද්ගලිකව කැමති නැහැ. මම එවැනි දෙයක් (අපහාස කිරීම්, අනවශ්‍ය ප්‍රකාශ වැනි) දැක්කා නම් අනිවාර්යයෙන් ම පැමිණිලි කරනවා, නැතිනම් යන්න යනවා. මම හිතන්නේ මේ සමහර දේවල් හරිම බාල තත්වයේ තියෙන්නේ.”

එංගලන්ත ප්‍රේක්ෂකාගාරයෙන් තම කණ්ඩායමට අතිශය අසැබි වචන වලින් වාචික ගැරහුම් එල්ල වන බව පවසන Khawaja එහි දී වැඩිදුරටත් පවසා සිටියේ නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු Travis Head ඉලක්ක කරමින් ඔවුන් පැවසූ සමහර වචන පොදු ස්ථානයක භාවිත කිරීමට කිසිසේත් ම නුසුදුසු අන්දමේ ඒවා බවයි.

මෙහි දී එංගලන්ත ප්‍රේක්ෂකාගාරය තුළින් නැගෙන මෙම වාචික අපහාස කිරීම් හා සමාන අන්දමේ සැලකීමක් තමන්ට ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකාගාරය තුළින් ද ලැබෙන බව එංගලන්තය පාර්ශවයෙන් එල්ල වන චෝදනාවක්.

නමුත් Khawaja නම් පවසන්නේ කුමන රටේ දී වුව ද තමන් එවැනි ක්‍රියාවන් අනුමත නොකරන බවයි.

“අපි එංගලන්තයේ අය සමඟ ඒ ගැන කතා කළොත්, ඔවුන් කියනවා ඕස්ට්‍රේලියාවේ දී ඔවුන්ටත් ඒ වගේ ම රළුයි කියලා. මම ඒකටත් එකඟ වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක හරි දෙයක් නෙවෙයි.

ඒක බලාපොරොත්තු සුන් කරවන දෙයක්. මම එවැනි ක්‍රියා වල රසිකයෙක් නෙවෙයි. එය ලොව පුරා සිදු වන දෙයක් බව මම දන්නවා. ඔබ NBA බලන්න, එහි දීත් එය සිදු වෙනවා. (විශේෂයෙන්ම ප්‍රේක්ෂකයින් ඔබට සමීප වෙන නිසා.)

නමුත් මම එයට එකඟ වෙන්නේ නැහැ.

එමෙන්ම තමන් විසින් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී සිදු වූ දෑ පිළිබඳ නැවත නැවතත් අදහස් දැක්වීමෙන් වැළකී සිටින බව ද Khawaja විසින් මෙහි දී අවධාරණය කර තිබුණේ MCCය විසින් සිදුවීමට අදාළ ව ගත යුතු පියවර ගනු ඇති බව පවසමින්.

මේ අතර අළුබඳුන තරගාවලියේ සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (19) දිනයේ එංගලන්තයේ Old Trafford ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එහි දී ද පවතින වාතාවරණයේ (ප්‍රේක්ෂකාගාරයේ) වෙනසක් සිදු නොවනු ඇති බව අනුමාන කළ හැකි.

එමෙන්ම මෙම වාචික ප්‍රහාර වලින් වැඩි වශයෙන් බැට කෑ තවත් ඕස්ට්‍රේලියානුවෙකු ලෙස ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක Alex Careyව හඳුන්වා දිය හැකියි. ඔහු විසින් ද පසුගිය සතියේ දී මෙම ප්‍රේක්ෂක හැසිරීම් පිළිබඳ අදහස් දක්වා තිබුණා.

“සමහර නරක දේවල් කිව්වත්, ඒ තමයි අළුබඳුන. මීට පෙරත් එවැනි බොහෝ දේ කිව්වා. මම තාමත් අපිට හිතන්නේ එංගලන්තයේ ක්‍රිකට් රසිකයින් ඉන්නවා කියලයි.

අලුතින් රසිකයින් හදා ගත්තේ නැති වුනත්, අපි හිටපු රසිකයින් නැති කරගත්තේ නැහැ කියලා මම හිතනවා.

මේ අපි මතකයේ තබා ගත යුතු අළුබඳුන තරගාවලියක්. අපිට ඉතාම හොඳ ප්‍රේක්ෂක ප්‍රමාණයක් දැක ගන්න ලැබුණා. අපි මෙහි පැමිණීමට කැමතියි. අපි මෙහි අළුබඳුන ක්‍රීඩා කරන්න කැමතියි.”

2023 අළුබඳුන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<