උෂාන් ඇමරිකාවේ දී පළමුු පස්දෙනා අතරට

NCAA පළමු කාණ්ඩයේ ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවය 2023

183
Ushan Thiwanka Finished 5th in NCAA Div I Indoor Athletics Championship

ඇමරිකාවේ විශ්ව විද්‍යාල තරග පිටියේ පැවැත්වෙන ප්‍රධාන තරගාවලියක් වන NCAA පළමු කාණ්ඩයේ ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි උස පැනීමේ ඉසව්වේ පස්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක උෂාන් තිවංක සමත් වුනා.

ටෙක්සාස් නුවර A&M සරසවිය නියෝජනය කරමින් තරග වදින උෂාන් එම තරගාවලියේ පිරිමි උස පැනීම ඉසව්වේ මීටර් 2.18ක දස්කමක් දැක්වූවා.

Ushan Thiwanka Finished 5th in NCAA Div I Indoor Athletics Championshipඋෂාන් නියෝජනය කරන සරසවිය පසුගිය කාලසීමාවේ දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදුණු අතර NCAA දෙවැනි කාණ්ඩයේ උස පැනීමේ ශූරයා වූ උෂාන්, සිය කණ්ඩායම NCAA පළමු කාණ්ඩයට උසස් කිරීමට විශාල සේවාවක් සැපයුවා.

එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත් Romaine Beckford මීටර් 2.24ක දස්කමක් දැක්වූ අතර දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් ක්‍රීඩකයින් තිදෙනාම දැක්වූ දස්කම මීටර් 2.21ක් ලෙස සටහන් වුනා.

උෂාන් මෙම තරගාවලියේ දැක්වූ දස්කම ඔහුගේ මෙම වසරේ අනෙක් තරග දස්කම් සලකා බැලීමේ දී අඩු දස්කමක් වූ අතර ඔහු මෙවර තරග වාරයේ දී මීටර් 2.24ක් සහ 2.25ක සීමා සාර්ථකව පසු කර තිබෙනවා.

උස පැනීම ඉසව්වෙන් පසුගිය වසර කිහිපය තුළ ඉහළ දස්කම් දැක්වූ උෂාන් තිවංක එම ඉසව්වේ ගෘහස්ථ සහ එළිමහන් (මීටර් 2.27 සහ 2.30) ජාතික වාර්තාවලට ද හිමිකම් කියනවා.

එමෙන්ම සිය විශ්වවිද්‍යාල කණ්ඩායමේ සිටින ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන ඔහු සම්මාන රැසක් ද දිනා ගැනීමට පසුගිය කාලසීමාවේ දී සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<