අයර්ලන්තයේ ශාපය තවදුරටත්; සත්කාරක ප්‍රංශයත් ලෝක කුසලානයෙන් ඉවතට

Rugby World Cup 2023

1925

2023 රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (16) උදෑසනින් අවසන් වුනේ මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වැඩිම බරක් තබා තිබූ ප්‍රධාන රටවල් ද්විත්වයක් තරගාවලියෙන් ඉවතට විසි කරමිනුයි.

අර්ධ අවසන් පූර්ව වටයේ දී මේ වන විට ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් හි අංක එක ස්ථානයේ රැඳී සිටින අයර්ලන්තය සහ තරගාවලියට සත්කාරකත්වය සපයන ප්‍රංශය යන කණ්ඩායම් දෙක පිළිවලින් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ අතර, එංගලන්තය සහ ආජන්ටිනාව විසින් පිළිවලින් ෆීජි සහ වේල්ස් කණ්ඩායම් පරාජය කිරීමට සමත් වුනා.

ආජන්ටිනාව සහ වේල්සය

මෙවර තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ලෙස පැවැත්වුණු මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට තරගය ජයග්‍රහණය කරතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි වේල්සය ලකුණු 10 – 6ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ආජන්ටිනාවේ ආධිපත්‍යයට නතු වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වුනේ ලකුණු 17 -29ක් ලෙස තරගයේ ජයග්‍රහණය ආජන්ටිනාව සතු වීමයි.

මේ අනුව මෙතෙක් තරගාවලියේ ආජන්ටිනාවේ ගමන 2015 සහ 2007* වර්ෂය දෙකේ දී ලෝක කුසලාන අවසන් පූර්ව වටවලට සුදුසුකම් ලැබීමෙන් අනතුරුව ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් දක්වා ඇති ඉහළම දක්ෂතාව ලෙස සටහන් වුනා.

*. 2007 දී තෙවන ස්ථානය සහ 2015 දී සිව් වන ස්ථානය

නවසීලන්තය සහ අයර්ලන්තය

මෙවර ලෝක කුසලානයේ බොහෝ දෙනා අනුමාන කළ පරිදි වඩාත් උද්වේගකර ම තරගයක් මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වුණා.

එහි දී තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 18 – 17ක් ලෙස නවසීලන්තය පෙරමුණේ පසු වූ අතර, තරගය අවසන් වන විට ලකුණු තත්වය සටහන් වී තිබුණේ 28 – 24ක් ලෙසයි.

ඒ අනුව ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සාර්ථක ම කණ්ඩායම ලෙස සැලකිය හැකි නවසීලන්තය නැවතත් වරක් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්ත ම කණ්ඩායමක් ලෙස සැලකිය හැකි අයර්ලන්තය නැවත වරක් අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වීම විශේෂත්වයක්.

ලෝක රග්බි ක්‍රීඩාවේ පතාක යෝධයකු සේ වැජඹුණ ද අයර්ලන්තය තවමත් ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයකින් ඉදිරියට යාමට සමත් වී නැහැ. නමුත් ඔවුන් 2007 වසරේ හැරුණු කොට අනෙක් සියලු ම ලෝක කුසලාන තරගාවලිවල දී අර්ධ අවසන් පූර්ව වටය තෙක් පැමිණීමට සමත් වී තිබෙනවා.

එංගලන්තය සහ ෆීජි

මෙම තරගයේ ජයග්‍රහණය එංගලන්තය සතු වුව ද ප්‍රේක්ෂක ගෞරවය වැඩි වශයෙන් දිනා ගැනීමට ෆීජි දේශය සමත් වූ බව නොරහසක්.

තරගයේ පළමු අර්ධය තුළ ලකුණු 21 – 10ක් ලෙස එංගලන්තය පහසුවෙන් පෙරමුණ ගැනීමට සමත් වුනත්, දෙවැනි අර්ධයේ පාලනය නම් සම්පූර්ණයෙන්ම ෆීජී දේශය සතු වුනා.

තරගයේ දෙවන අර්ධයේ දී ෆීජි ක්‍රීඩකයින් විසින් ලකුණු 14ක් රැස් කරද්දී, එංගලන්තයෙන් වාර්තා වුනේ ලකුණු 9ක් පමණයි.

නමුත් මුල් අර්ධයේ ලබා ගත් ඉදිරිය නිසා එංගලන්තය ලකුණු 30 – 24ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ අවසන් තත්පරය වන තෙක් ෆීජි දේශය ලබා දුන් සටන අතිශය ප්‍රශංසනීයයි.

ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව

තරගාවලියේ මෙතෙක් පැවැත්වුණු තියුණු ම තරගය මෙය විය හැකියි. දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳෙන මෙම කණ්ඩායම් ද්විත්වය අතරින් තරගයේ පළමු අර්ධයේ වාසිය ලබා ගැනීමට සමත් වුනේ ප්‍රංශය විසිනුයි.

ලකුණු 22 – 19ක් ලෙස නිමා වූ පළමු අර්ධයෙන් පසුව තරගයට විශිෂ්ට ලෙස අවතීර්ණ වූ දකුණු අප්‍රිකානුවන් විසින් තරගය නිමා වන විට අවසන් ලකුණු තත්වය 28 – 29ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

එම තරගයේ නිමාවත් සමඟින් 2023 රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග සඳහා ප්‍රතිවාදීන් තෝරා ගැනීම අවසන් වුනා.

අවසන් පූර්ව තරග

  • ආජන්ටිනාව සහ නවසීලන්තය අතර

ඔක්තෝබර් 21 (සෙනසුරාදා) මධ්‍යම රාත්‍රි 12.30ට

නවසීලන්තය සිය පස් වැනි ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී ද, නැතහොත් ආජන්ටිනාව සිය පළමු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී ද යන්න මෙම තරගයෙන් තීරණය වනු ඇති.

එමෙන්ම අවසන් පූර්ව වටය නියෝජනය කරන රටවල් හතරෙන් ලෝක කුසලාන පහස ලබා නොමැති එකම රට වන්නේ ද ආජන්ටිනාවයි.

  • එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර

ඔක්තෝබර් 22 (ඉරිදා) මධ්‍යම රාත්‍රි 12.30ට

එංගලන්තය සිය පස් වැනි අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී ද, නැතහොත් දකුණු අප්‍රිකාව සිය සිව් වැනි අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී ද යන්න මෙහි දී තීරණය වනු ඇති.

එමෙන්ම 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වුණේ ද මෙම කණ්ඩායම් ද්විත්වය අතර නිසා එළඹෙන ඉරිදා දිනයේ දී මෙම කණ්ඩායම් දෙක අතර ඉතා තියුණු තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි.

2023 රග්බි ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<