පැරිස් නුවරට පාපන්දු තරු පෑයූ Ballon d’Or සම්මාන රාත්‍රිය

312

පාපන්දු ලෝකයේ තාරකාවන් කිරුළු පළඳවන සුප්‍රකට Ballon d’Or සම්මාන උළෙල ඊයේ (17) අති උත්කර්ෂවත් අන්දමින් ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වුණා.

සුප්‍රකට ‘France Football’ සඟරාව විසින් වාර්ෂිකව පවත්වන මෙම සම්මාන උළෙල  2021-22 තරග වාරයේ ලොව හොඳම පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා සමාජ තෝරාගැනීමේ අරමුණෙන් මෙවර පැවැත්වුණේ 66 වැනි වරටයි.

2022 Ballon d’Or සම්මාන උළෙල වෙනුවෙන් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා සමාජවල නාමලේඛනය ප්‍රකාශයට පත් කෙරුණේ ඉකුත් අගෝස්තු 12 වැනිදායි.

මුළු ලෝකයක් බලා සිටි Ballon d’Or සම්මානය මෙවර දිනා ගනු ලැබුවේ ප්‍රංශයේ සුපිරි ප්‍රහාරක ක්‍රීඩක Karim Benzema විසින්. ඔහු ඇතුළු ප්‍රංශ කණ්ඩායම මෙවර UPFA Nations League තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

එසේම ඔහු නියෝජනය කරන ස්පාඤ්ඤයේ Real Madrid පසුගිය චැම්පියන්ස් ලීග් තරගාවලිය මෙන්ම, ‘La Liga’ තරගාවලිය ද ජයග්‍රහණය කිරීමට Benzemaගේ සුපිරි ක්‍රීඩා විලාසය ප්‍රධාන හේතුවක් වූ බවයි ලොව පුරා ක්‍රීඩා විචාරකයින් සඳහන් කළේ.

පාපන්දු ලෝකයේ ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය වන මෙය ප්‍රංශ ක්‍රීඩකයෙකු විසින් දිනා ගනු ලැබුවේ වසර 24කට පසුව වීම විශේෂත්වයක්. අවසන් වරට එම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රංශ ක්‍රීඩකයා වන්නේ සුපිරි ක්‍රීඩක Zinedin Zidane. ඒ 1998 වසරේ දී. ඊට පෙර ප්‍රංශ පාපන්දු ක්‍රීඩකයන් තිදෙනෙක් මෙම සම්මානය දිනාගෙන තිබෙනවා.

මෙවර Ballon d’Or සම්මානය සඳහා නිර්දේශ වූ අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා ලෙස පිළිවෙළින් සෙනගාලයේ Sadio Mane සහ බෙල්ජියමේ Kevin De Bruyne, දෙවැනි සහ තෙවැනි නිර්දේශිත ස්ථානවලට පත්වුනා.

2006 වසරෙන් පසුව Lionel Messi හෝ Cristiano Ronaldo, Ballon d’Or අවසන් ක්‍රීඩකයන් තිදෙනා අතරට ඇතුළත් නොවූ ප්‍රථම අවස්ථාව ලෙස මෙවර සම්මාන උළෙල සටහන් වීමත් විශේෂත්වයක්.

Benzemaගේ මෙම ජයග්‍රහණය එතරම්ම සුවිශේෂී වන්නට හේතු කිහිපයක්ම තිබෙනවා. ඔහු Ballon d’Or සම්මානය මෙවර දිනා ගනු ලබන්නේ වසර 5කට වැඩි කාලයක් ප්‍රංශ කණ්ඩායමෙන් ඉවත් කර තැබීමෙන් අනතුරුවයි.

එසේ ඉවත් කෙරෙන්නේ Benzema සිය ප්‍රංශ කණ්ඩායමේ සගයෙක් වූ Mathieu Valbuena සම්බන්ධයෙන් වූ ලිංගික වීඩියෝ පටයක් යොදාගෙන ඔහුට අවමාන තර්ජන (Blackmail) එල්ල කිරීමට සම්බන්ධ වූ බව තහවුරු කෙරුණු නිසා.

එවැනි නරක කාලයකින් පසුව නැවතත් ප්‍රංශ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණු Benzemaට පාපන්දු ලෝකයේ ඉහළම සම්මානය හිමි වීම ඔහුගේ වෘත්තීය පාපන්දු ජීවිතයට ලැබුණු නව පුනර්ජීවනයක් බවයි විචාරකයින්ගේ මතය.

ඒ වගේම මෙතෙක් කාලයකට Ballon d’Or සම්මානයෙන් පිදුම් ලැබූ වයස්ගතම ක්‍රීඩකයන් දෙදෙනා අතරටත් Benzema අයත් වෙනවා. ඔහුට ඉහළින් සිටින්නේ 1956 වසරේ මෙම සම්මානය දිනා ගත් Stanley Matthews.

ක්‍රීඩිකාවන් සඳහා වූ Ballon d’Or සම්මානය සම්මානය මෙවර දිනා ගනු ලැබුවේ ස්පාඤ්ඤ ක්‍රීඩිකා Alexia Putellas විසින්. ගෙවී ගිය චැම්පියන්ස් ලීග් තරගාවලියේ වැඩිම ගෝල ලාභිනිය බවට පත් වූ Alexia, ඇය නියෝජනය කරන බාසිලෝනා අවසන් මහා තරගය දක්වා රැගෙන ඒමේ දී අති විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළේ ගෝල 11ක් වාර්තා කරමින්.

මේ වන විට Alexia ඇයගේ දණහිසේ ඇති වූ බරපතළ ආබාධයකින් සුවය ලබමින් පසුවෙනවා. මේ ආබාධය හේතුවෙන් මෑත කාලයේ පැවති ප්‍රධාන තරගාවලි කිහිපයක්ම ඇයට මඟහැරී ගියා. එවන් තත්වයක් යටතේ ඇය ලැබූ මේ සම්මානය ඇයට ඉමහත් අස්වැසිල්ලක් වූවාට සැකයක් නැහැ. සුවිශේෂිම සිද්ධිය වෙන්නෙ Alexia මෙවර Ballon d’Or සම්මානය දිනා ගත්තේ පිට පිටම දෙවැනි වතාවට වීමයි.

2018 වසරේ දී ආරම්භ කළ ක්‍රීඩිකාවන් සඳහා වූ Ballon d’Or සම්මානය මුල්ම වරට දිනා ගත්තේ නෝර්වේ ක්‍රීඩිකා Ada Hegerberg. 2019 වසරේ එම සම්මානය දිනා ගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපද ක්‍රීඩිකා Megan Rapinoe විසින්.

2020 වසරේ කොරෝනා වසංගතය නිසා ක්‍රීඩිකාවන් සඳහා වන Ballon d’Or සම්මානය පිරිනැමුණේ නැහැ. එහෙත් 2021 වසරේ දී බාසිලෝනා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ ප්‍රථම වතාවට චැම්පියන්ස් ලීග් තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ඔවුන් වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ Alexia Putellas සිය පළමු Ballon d’Or සම්මානය හිමි කර ගත්තා.

මේ අගෝස්තුවේ දී යුරෝපා පාපන්දු සංගම් එකමුතුව (UPFA) විසින් පිරිනමන වසරේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අදාළ සම්මාන ද්විත්වය හිමි කරගත්තේ ද Karim Benzema සහ Alexia Putellas විසින් වීම තවත් සුවිශේෂී සිද්ධියක් ලෙස සඳහන් කරන්නට පුළුවන්.

තරගාවලිය තුළ ගෝල 6ක් වාර්තා කරමින් EURO කුසලානය සිය මව්බිමේ දී ම එංගලන්තයට ජයග්‍රහණය කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් සිදු කළ Beth Mead, කාන්තා Ballon d’Or සම්මානය සඳහා නිර්දේශිත ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ Alexiaට තියුණු අභියෝගයක් එල්ල කරමින්.

එංගලන්තයේම Lucy Bronze සහ Millie Bright ද මෙම නිර්දේශිත නාමයන් අතරට එක්වී සිටීම විශේෂත්වයක්. Alexiaගේ බාසිලෝනා කණ්ඩායමට එරෙහිව Lyon කණ්ඩායමට චැම්පියන්ස් ලීග් ශූරතාවය දිනා දීමට සමත් වූ Ada Hegerberg ද මෙම නිර්දේශිත නාමයන් නියෝජනය කළා.

ඊට අමතරව Ballon d’Or සම්මාන රාත්‍රියේ වයස අවුරුදු 21න් පහළ හොඳම ක්‍රීඩකයා සඳහා වූ කෝපා ශූරතාවය දිනා ගනු ලැබූ ස්පාඤ්ඤයේ Gavi විසින්.

හොඳම ගෝල රකින්නාට හිමි Yashin කුසලානය Real Madrid නියෝජනය කරන බෙල්ජියම් ක්‍රීඩක Thibaut Courtois විසින් දිනා ගත්තා.

සිය මව්රට වන සෙනගාලය වෙනුවෙන් ඉටු කරන ලද සමාජ සේවාවන් ඇතුළු පුණ්‍ය කටයුතුවලට කරන ලද ඇගයීමක් වශයෙන් Socrates සම්මානය පිරිනැමුනේ Sadio Mane හටයි.

හොඳම ප්‍රහාරකයා වෙනුවෙන් පිරිනැමෙන Gerd Müller කුසලානය දිනා ගත්තේ පෝලන්තයේ Robert Lewandowski.

වසරේ හොඳම පාපන්දු ක්‍රීඩා සමාජය සඳහා වන සම්මානය Manchester City විසින් දිනා ගත්තේ, පිළිවෙළින් Liverpool සහ Real Madrid කණ්ඩායම් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්කරමින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<