ප්‍රතික්ෂේප වී ලොව දිනූ ඇලෙක්සියා පුතෙයාස්

364
stuff.co.nz

වයස අවුරුදු 16 දී Barcelona (බාසිලෝනා) යොවුන් ඇකඩමියේ නියෝජිතයන් විසින් ඇයව හඳුනා ගත්තේය. එහෙත් අවාසනාවකට මෙන් ඉන් වසරක් ඉක්ම යද්දී ඇයව ප්‍රතික්ෂේප විය.

FIFA වසරේ පාපන්දු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව විසින් Ballon d’Or (බැලන් දියොර්) සම්මාන දිනාගෙන පැය කිහිපයකි. එහි දී Karim Benzema (කරීම් බෙන්සිමා) විසින් 2022 වසරේ ක්‍රීඩකයා ලෙසත්, Alexia Putellas (ඇලෙක්සියා පුතෙයාස්) වසරේ ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනා ගන්නා ලදි. ඉන් පුතෙයාස්ගේ කතාව ක්‍රීඩාවේ යෙදෙන/නොයෙදෙන ඕනෑම යෞවන යෞවනියකට ආදර්ශයක් ලෙස ගත හැකිය.

බාසිලෝනා ක්‍රීඩා සමාජයේ නිජ ක්‍රීඩා භූමිය වන Camp Nou හි සිට ඇගේ නිවසට පැය භාගයකි. කෙදිනක හෝ බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරන සිහිනය ඇලෙක්සියා පුතෙයාස්ගේ සිතෙහි පැලපදියම් වීම නොවැළැක්විය හැක්කක් විය. මේ වන විට දෙවරක් බැලන් දියොර් සම්මාන දිනා ඇති පුතෙයාස් හට බාසිලෝනා කණ්ඩායමට ඇතුළත් වීම එතරම් පහසු වූයේ නැත.

ඇලෙක්සියා පුතෙයාස් ඇගේ පියා සමඟින් Camp Nou වෙත ගොස් තරග නැරඹීමට පුරුදුව සිටියාය. පාපන්දු දස්කම් දැක විස්මයට පත්වූ ඇය නිදි යහනේ සිට පැය ගණන් ඒ මතක ආවර්ජනය කරන්නට ඇත. ක්‍රීඩාංගණයට ගොස් තරග නැරඹිය නොහැකි දිනවල දී ගමෙහි බීම හලකට ගොස් රූපවාහිනියෙන් තරග නැරඹීම ඇගේ පුරුද්ද විය.

දරුවෙක් හැටියට මම මගේ දෙමාපියන්, නැන්දලා, මාමලා සහ ආච්චි, සීයා එක්ක තමයි ගියේ.  කට්ටිය බාසිලෝනා ජර්සි ඇඳලා බස් එකෙන් යනකොට මට ඕන වුනේ ක්‍රීඩකයන්ට ළඟින් ඉන්න. දර්ශන පථය කොච්චර අවුල් වුනත් මම හැමවෙලේම කිව්වා අපි ටිකක් ළඟට යමුකෝකියලා. මට ඕන වුනේ බාසිලෝනා වල කොටස්කාරියක් වෙන්න.”, ඇය Players’ Tribune වෙත එසේ පවසා තිබුණි.

මට මතකයි මම කුතුහලයෙන් ඉන්නවා. මට මොනවත් තේරුණේ නැතත් මට හිතුණා කණ්ඩායම වැදගත් කියලා.”, ඇය කීවාය.

ඇයගේ පියා මියගොසිනි. මව, ජෝමා විසින් සිහිකරන්නේ කුඩා කාලයේ දී ඇලෙක්සියා පුතෙයාස් හට පාපන්දු වලින් තොර ජීවිතයක් නොතිබූ බවයි.

තනියෙන් හරි, තාත්තා එක්ක හරි, පාසලේ පිරිමි ළමයි එක්ක හරි ඇය ක්‍රීඩා කළා. ඒක එයාගේ ආගමයි සරණයි වෙලා තිබුණේ,” මව සිනාසෙයි.

ඇගේ පළමු පාපන්දු ක්‍රීඩා සමාජයට ඇතුළත් වන්නට ඇයට බොරු කීමට සිදු විය. Sabadell (සබඩෙල්) කණ්ඩායමට ක්‍රීඩිකාවන් තෝරාගන්නා අවම වයස අවුරුදු 08ක් විය. එහෙත් පුතෙයාස්ට ඒ වන විට වයස අවුරුදු 07කි.

All for XI
ඇලෙක්සියා පුතෙයාස් විසින් පෙර බැලන් දියොර් සම්මාන දිනූ මොහොත

මට සෙල්ලම් කරන්න වුනේ අවුරුදු 10, 11 ක්‍රීඩිකාවන් එක්ක. මම ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි පැමිණිලි කරනවා මතකයි, ‘මට බෝලෙට ඒගොල්ලෝ තරම් හයියෙන් ගහන්න බෑකියලා. ඒත් මං ආසාවෙන් ක්‍රීඩා කළා,” ඇලෙක්සියා පුතෙයාස් සිහි කළාය.

ඇයට වයස අවුරුදු 16ක් වන විට බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩිකාවන් තෝරාගන්නා නියෝජිතයන් ඇයව හඳුනා ගත්තේය. එහෙත් වසරකට පසුව ඔවුන් ඇය පිළිබඳ බලාපොරොත්තු අත් හැරියේය. එය යොවුන් ක්‍රීඩිකාවක ලෙස ඇයව දැඩි කනස්සල්ලට ලක්කළේය. ඇය එදා හඬා වැටුනාය. එහෙත් එය එක් අතකින් ආශීර්වාදයක් විය.

මට බාසිලෝනා වෙත යන මගේ ඉලක්කයට මොකක් හරි විදියකින් යන්න ධෛර්යයක් ආවා,” ඇය සිහි කළාය.

ඇය Espanyol (එස්පැන්යොල්) කණ්ඩායම හා එක්වූවාය. පසුව Levante (ලෙවන්ටේ) කණ්ඩායම හා එක්වූ ඇය තරග 34ක දී ගෝල 15ක් වාර්තා කිරීමට සමත් විය. වම් අන්තයේ ඉදිරිපෙළ ක්‍රීඩිකාවක වූ ඇය එසේ ගෝල වාර්තා කිරීම විශේෂ දස්කමක් විය. ඒ කාලයේ දී ඇයට ඇගේ පියා අහිමි විය. එය වේදනාත්මක මතකයක් විය.

පසුගිය වසරේ Ballon d’Or ජයග්‍රහණයේ දී ඇය සිය පියාව සිහි කළාය.

මට පාපන්දු ක්‍රීඩාවට ආරම්භය දුන්නේ ඔහුයි. ඔහු හැමදාම මාව පුහුණුවීම් වලට අරගෙන ගියා. ඒ හේතුව නිසා මම කැමතියි ඔහු මේ වෙලාවේ හිටියනම්…” සම්මානය දිනාගෙන ඇය එසේ කීවාය.

ඇලෙක්සියා පුතෙයාස් බාසිලෝනා වෙනුවෙන් ක්‍රීඩා කරමින්

ලෙවන්ටේ සමඟින් සාර්ථකව ක්‍රීඩා කළ තරග වාරය අවසන් වන කාලයේ දී ඇයට ඇය බලාපොරොත්තු වූ ඇමතුම ලැබුණි. ඒ බාසිලෝනා කණ්ඩායමෙනි. ඇය ක්‍රීඩා කරන ස්ථානය වෙනස් විය. වම් අන්තයේ ඉදිරිපෙළ ක්‍රීඩිකාවකව සිට මධ්‍ය පසුපෙළ ක්‍රීඩාව හසුරුවන්නියගේ වගකීම ඇය වෙත ලැබුණි. ඉන් අගේ නිර්මාණශීලීත්වය වැඩි වශයෙන් සිය කණ්ඩායමට ලබා දීමට ඇයට හැකි විය. අවශ්‍ය වූ විටෙක දිගුදුර ප්‍රහාරයන් එල්ල කිරීමේ හැකියාව ද ඇයට තිබුණි.

බාසිලෝනා ක්‍රීඩා සමාජ ඉතිහාසයේ ප්‍රබලතම කාන්තා පාපන්දු කණ්ඩායම නිර්මාණය වෙමින් තිබූ කාලයේ දී ඇලෙක්සියා පුතෙයාස්ගේ සේවය ඔවුනට ලැබුණි. දැනට 28 හැවිරිදි වියෙහි පසුවන ඇය දශකයකට වඩා වැඩි වෘත්තීය පාපන්දු දිවියක හිමිකාරියක වී ඇත.

බාසිලෝනා කණ්ඩායම සමඟින් ත්‍රිත්ව ශූරතා, ලීග් ශූරතා සහ ක්‍රීඩා සමාජ කරළියේ තිබෙන ඉහළම ජයග්‍රහණ ලබා ගැනීමට තරම් ඇය සමත් විය.

දෙවරක්ම වසරේ පාපන්දු ක්‍රීඩිකාව ලෙසින් අභිෂේක ලැබීම ඒ ජයග්‍රහණ ගොන්නේ නවතම රත්නයයි.

මේ කණ්ඩායමට ක්‍රීඩා කරද්දී මට ඇත්තටම දැනෙනවා මම මගේ පවුල එක්ක ඉන්නවා වගේ. මගේ ඉතිහාසය, මගේ ගෙදර නියෝජනය කරනවා වගේ,” දැන් ඇය පවසන්නේ එසේයි.

බාසිලෝනා කණ්ඩායමෙන් හැලුණු ක්‍රීඩිකාවක විසින් එම කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩිකාවක වී ලොව ඉහළම පෞද්ගලික පාපන්දු සම්මාන දිනා ගත්තේ එලෙස ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<