නොකඩවා තෙවැනි වරටත් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ශූරතාවය ජ’පුරට

14 වැනි අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරගාවලිය (SLUG)

189
University of Colombo vs University of Sri Jayewardenepura

14 වැනි වරට සංවිධානය කරනු ලැබූ අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරගාවලියේ (SLUG) ක්‍රිකට් අවසන් මහා තරගය ඊයේ (18) කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම අතර පැවැත්වුනා. 

එම තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකරගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම නොකඩවා තෙවැනි වරටත් තරගාවලි ඉතිහාසයේ ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා. වසර 3කට වරක් පැවැත්වෙන SLUG තරගාවලි ඉතිහාසයේ අවසන් තරගාවලි වර්ෂ දෙක තුල (2016 සහ 2019) දී ද ක්‍රිකට් ශූරතාවය දිනා ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. 

>>Photos – University of Colombo vs University of Sri Jayawardenapura – 14th Sri Lanka University Games 2023 -Cricket Final<< 

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ජයවර්ධනපුර ක්‍රීඩකයින් කොළඹ පළමු කඩුලු 4 ලකුණු 16ක් තුල දවා ගත්තේ පළමු පන්දු 38 තුලයි. 

අනතුරුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් කඩුලු රකින පිතිකරු ගිහාන් මදුසර සහ හිම්සර රන්දෙනි එක්ව ලකුණු 109ක සුපිරි ශතක සබඳතාවයක් ගොඩනංවමින් පීඩනයට හසුව සිටි කොළඹ ලකුණු පුවරුවට යම් ජීවයක් එක් කළා.

එහි දී ඔවුන් දෙදෙනාම අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු රන්දෙනි පන්දු 72ක් තුල 4 පහර 9ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 66ක් ලබා ගත්තා. ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් පන්දු 102ක් තුල ලකුණු 51ක් ලබා ගැනීමට මදුසර සමත් වුනා. 

අනතුරුව නැවතත් ඔවුන්ගේ පසුපෙළ යම් පසුබෑමකට ලක්වන විට රුවින් සෙනෙවිරත්න අංක 8 පිතිකරු ලෙස පිටියට පැමිණ ලකුණු 34ක් ලබාගෙන දස්කම් දැක්වීම නිසා කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායමට ලකුණු 197ක් දක්වා සිය ලකුණු පුවරුව රැගෙන යන්නට හැකි වුනා.

එසේම සෙනෙවිරත්න හට අගනා සහයක් ලබා දුන් අංක 9 පිතිකරු විනූ වීරක්කොඩි ලකුණු 23යි. ඔවුන් දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ අතර එය මේ ඉනිම තුල වාර්තා වූ දෙවැනි හොඳම සබඳතාවය වුනා. 

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන කසුන් රොද්‍රිගෝ කඩුලු 3ක් දවා ගත් අතර ආරම්භක වමත් වේගපන්දු යවන දිනත් දිසානායක ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා. අශෙල් සිගේරා සහ ඉසුරු කාවින්ද අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. 

පිළිතුරු ඉනිම දියත් කළ ජයවර්ධනපුර කණ්ඩායම පන්දුවාර 44ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 198 ඉලක්කය සපුරා ගත් අතර එහි දී සුපිරි ශතකයක් ලබා ගන්නට උමේෂ් ලක්ෂාන් සමත් වුනා. ශෙරන් ෆොනේස්කා නොදැවී ලකුණු 38*යි. 

පන්දු 115ක් තුල වාර්තා වුනු ලක්ශාන්ගේ ලකුණු 102* ඉනිමට 4 පහර 8ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා. ලකුණු 90කට කඩුලු 4ක් බිඳ වැටී තිබිය දී 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104ක තීරණාත්මක සබඳතාවයක් ගොඩනංවමින් ලක්ෂාන් සහ ෆොන්සේකා එක්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට නැවතත් ක්‍රිකට් ශූරතාවය රැගෙන යන්නට සහය වුනා. 

පන්දු යැවීමේ දී සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ රන්දෙනි කඩුලු 2ක් ලබා ගත්තේ කොළඹ කණ්ඩායම වෙනුවෙන් ලබා ගත් ලකුණු 66ට අමතරවයි. 

මෙවර SLUG තරගාවලියේ ප්‍රධාන සත්කාරකත්වය දරනු ලබන්නේ නැගෙනහිර විශ්ව විද්‍යාලයයි. 

කොළඹ විශ්ව විද්‍යාලය – 197/9 (50): හිම්සර රන්දෙනි 66, ගිහාන් මදුසර 51, රුවින් සෙනෙවිරත්න 34, කසුන් රොද්‍රිගෝ 3/42, දිනත් දිසානායක 2/25 

ශ්‍රී ජයවර්ධනපුරව විශ්ව විද්‍යාලය – 198/5 (44): උමේෂ් ලක්ෂාන් 102, ශෙරාන් ෆොන්සේකා 38*, හිම්සර රන්දෙනි 2/48 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට කඩුලු 5ක ජයක් 

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<