ඩිල්ශාන්, ධම්මික සහ ශෙහාන් ඇමරිකාවේ දී වැඩ පෙන්වයි!

US Masters T10 2023

9871

ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හිදි ඊයේ (18) ආරම්භ වූ US Masters T10 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක දක්ෂතා විශේෂයෙන් කැපී පෙනුණා. 

පළමු වරට සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් විශිෂ්ටයින් රැසක් සහභාගී වීමට සූදානමින් සිටින අතර එයට ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු ද ඇතුළත් වීම විශේෂත්වයක්. 

ඊයේ දිනයේ දී තරගාවලියේ තරග තුනක් පැවැත්වීමට නියමිතව තිබුනත්, මුල් තරග දෙක ම වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුනා. කෙසේ වෙතත් තරගාවලියේ තෙවැනි තරගය ලෙස New York Warriors සහ Morrisville Unity කණ්ඩායම්වලට ඊයේ තරග කිරීමට අවකාශය හිමි වුනා. 

මෙම තරගයේ දී Warriors නියෝජනය කරමින් තිලකරත්න ඩිල්ශාන් සහ ධම්මික ප්‍රසාද් තරග බිමට පිවිසුණු අතර, Unity කණ්ඩායම සමඟ වර්තමානයේ ඇමරිකාවට සංක්‍රමණය වී ඇති ශෙහාන් ජයසූරිය එක් වී සිටියා. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Unity නායක Harbhajan Singh පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව Warriors වෙත ලබා දුන් අතර එහි දී Kamran Akmal සහ තිලකරත්න ඩිල්ශාන් Warriors වෙනුවෙන් ඉනිම ආරම්භ කළා.

ඩිල්ශාන් විසින් පන්දු 11කට පමණක් මුහුණ දෙමින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර, කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ Richard Levi විසින් පන්දු 25කින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඊට අමතරව Kamranගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 24ත් සමඟින් New York Warriors කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසන් වන විට කඩුලු 3කට ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Unity කණ්ඩායමේ ඉනිම ආරම්භය තරමක් මන්දගාමී කිරීමට සමත් වූ ධම්මික ප්‍රසාද් විසින් සිය පන්දුවාර දෙක තුල ප්‍රතිවාදීන්ට ලකුණු 8ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

එම නිසා Chris Gayle, Corey Anderson වැනි ප්‍රවේගකාරී පිතිකරුවන් සිටියත්, Unity ඉනිමට සාර්ථක අඩිතාලමක් වැටුණේ නැහැ. 

වරෙක ඔවුන්ට ජයග්‍රහණය සඳහා පන්දු 18කින් ලකුණු 59ක් අවශ්‍යව තිබූ අතර, ඉනිමේ අවසන් පන්දුවාරය වන විට ඔවුන්ට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 28ක් අවශ්‍ය ව තිබුණා. 

Warriors වෙනුවෙන් Shahid Afridi විසින් යොමු කළ එම අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකට Calvin Savage විසින් ලකුණු 5ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන්පසුව ශෙහාන් ජයසූරිය විසින් හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් එල්ල කරමින් තරගය අවසන් පන්දුව තෙක් ම රැගෙන යාමට සමත් වුනා.

ඉනිමේ අවසන් පන්දුව වන විට Unity කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් අවශ්‍යව තිබූ නමුත් ජයසූරිය විසින් එම පන්දුවට පහරක් එල්ල කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වුනා. 

ඒ අනුව මෙම තරගයෙන් New York Warriors ලකුණු 6ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. 

New York Warriors 124/3 (10) Richard Levi 66, Kamran Akmal 24, Corey Anderson 1/19, Obus Pienaar 1/18 

Morrisville Unity 118/5 (10) Obus Pienaar 35, ශෙහාන් ජයසූරිය 28, ධම්මිඅ ප්‍රසාද් 2/8, Umaid Asif 3/22 

තරගයේ වීරයා සම්මානය Richard Levi හට හිමි වුනා. 

තරගාවලියේ තවත් තරග තුනක් අද (19) Texas Chargers, California Knights කණ්ඩායම් අතරත්, New York Warriors, Atlanta Riders කණ්ඩායම් අතරත්, Morrisville Unity, New Jersey Triton’s කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම මෙම තරගාවලියේ සියලු තරග සජීවී ව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com වෙබ් අඩවිය සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<