ඩිල්ශාන් නැවතත් සාර්ථකයි, නමුත් Lions අසාර්ථකයි!

Legends league Cricket 2023

4880
​Tillakaratne Dilshan made highest score

Legends League Cricket තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (17) Asia Lions සහ World Giants කණ්ඩායම් අතර පැවැත්වුණු අතර එම තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරගාවලියේ අවසන් මහා තරගය වෙත පිවිසීමට World Giants කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඊයේ තරගයේ දී ද ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන Asia Lions වෙනුවෙන් තරග වැදුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් World Giants නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වුනා. එහි දී දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Hashim Amla සහ Jacques Kallis විසින් Giants වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත්තා.

මෙහි දී Amla විසින් ලකුණු 68ක් ද, Kallis විසින් නොදැවුණු ලකුණු 56ක් ද Giants ඉනිමට එකතු කළා.

Asia Lions වෙනුවෙන් පන්දු යැවීමේ දී Mohommad Amir සහ Sohail Tanvir විසින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 151ක ඉලක්කයක් හඹා යාමට සුපුරුදු Lions ආරම්භක පිතිකරණ යුගලය වන උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ශාන් පිටියට පිවිසුනත්, තරංගට ඊයේ තරගයේ දී සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ.

ලකුණු 4කට තරංගගේ ඉනිම නිමා වීමත් සමඟ ඩිල්ශාන්ගේ සහයට තිසර පෙරේරා පිටියේ එක් වූ අතර තිසර විසින් හයේ පහරක් සහ හතරේ පහරක් ද සහිතව පන්දු 6කින් ලකුණු 12ක් ලබා දැවී ගියා. එමෙන්ම ඩිල්ශාන් ද පන්දු 28කින් ලකුණු 37ක් ලබා දැවී ගියේ Lions ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වෙමිනුයි.

ඊට අමතරව Lions ඉනිම වෙනුවෙන් නායක Shahid Afridi ලකුණු 26ක් ලබා ගත් අතර වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් සැලකිය යුතු දායකත්වයක් නොලැබීම නිසා පන්දුවාර 19යි එක් පන්දුවක දී ලකුණු 130කට Lions ඉනිමේ සියලු කඩුලු දැවී ගියා.

  • World Giants – 150/3 (20): Hashim Amla 68, Jacques Kallis 56, Sohail Tanvir 1/31
  • Asia Lions – 130/10 (19.1): තිලකරත්න ඩිල්ශාන් 37, Shahid Afridi 26, Tino Best 3/20

ඒ අනුව මෙවර තරගාවලියේ නොකඩවා ලැබූ දෙවැනි පරාජය අත්විඳීමට Lions කණ්ඩායමට සිදු වූ අතර, මෙතෙක් කල් ලකුණු සටහනේ ඔවුන් රැක ගෙන සිටි ප්‍රථම ස්ථානය ද World Giants කණ්ඩායමට පූජා කිරීමට සිදු වුනා.

ඒ සමඟ Legends league Cricket තරගාවලියේ මූලික වටයේ සියලු තරග නිමා වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි World Giants කණ්ඩායම ලබන සඳුදා (20) පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම කවුරුන්ද යන වග හෙට (18) Asia Lions සහ India Maharajas කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් තීරණය කෙරෙනු ඇත.

Legends league Cricket තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<