Home Sinhala හැරිස්-වනිඳු බලවේගය හමුවේ Jaffna Kings කිරුළ බිම දමයි!

හැරිස්-වනිඳු බලවේගය හමුවේ Jaffna Kings කිරුළ බිම දමයි!

1106

මේ දක්වා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවති අවස්ථා 3 දී ම ශූරතාවයට හිමිකම් කියූ Jaffna Kings ඊයේ (17) LPL සිව්වැනි අදියරට සමුදුන්නා.

ඒ පාකිස්තානු ක්‍රීඩක Mohommad Haris සහ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ සුපිරි දක්ෂතා හමුවේ ලකුණු 61ක පරාජයක් වැළඳ ගැනීම නිසයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම පිළිමළුන් පිටුදැකීමේ තරගය නැරඹීම සඳහා ඊයේ විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා. ඔවුන් ඉදිරියේ උරගා බැලුණු කාසියේ වාසිය හිමි වුනේ Jaffna නායක තිසර පෙරේරාටයි. තමන් සතුව සිටින සුපිරිතම විදෙස් පිතිකරුවන් සිව්දෙනාගේ “තුරුම්පු” අවසානයට ඉතිරි කර ගනිමින් ඔහු තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි.

ඊයේ තරගය ඇරඹී යවන ලද පළමු පන්දුවාරයේ දී ම පාකිස්තානු ආරම්භක පිතිකරු Fakhar Zamanට කඩුල්ල අහිමි වුනා. ඒ නුවන් තුෂාර යැවූ ඇතුලට දෝලනය වූ පන්දුවක් කඩුල්ල සොයා ගිය නිසයි. B-Love ඇරඹුම කඳුළක් වුවද මෙම තීරණාත්මක තරගයේ වාසිය ගිලිහෙන්නට ඉඩ නොදුන් Mohommad Haris සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ලට ලකුණු 68ක් එකතු කළා.

විශේෂම කාරණය නම් ඔවුන් දෙදෙනා ඊයේ පන්දුවාරයකට ලකුණු 10කට ආසන්න වේගයකින් මෙම අගනා සබඳතාවය ගොඩ නැගීමට සමත් වීමයි. B-Love Kandy නායකයා මෙන්ම සුපිරි පිතිකරු සනත් ජයසූරිය දෙවතාවක දී ඉල්ලා සිටි පරිදි “හොඳ විකට්ටුවක්” ඊයේ තරගය සඳහා ලබා දී ඇති බවට ඛෙත්තාරාම පිටියේ දැක ගන්නට ලැබුනු ප්‍රවේගකාරී පහරවල් සාක්ෂි දැරුවා.

වෙනදාට කායික ශක්තිය වැය කරමින් වේගවත් පහරවල් එල්ල කිරීමට උත්සාහ දරන චන්දිමාල් ඊයේ තම කල් මැනීම ගැන තැබූ විශ්වාසය සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නේ පන්දු 24ක දී ලකුණු 41ක් රැස්කර ගනිමින්. ඊට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. අවසන් පවර්ප්ලේ පන්දුවාරයේ දී මොවුන් දෙදෙනා නුවන් තුෂාරගෙන් උදුරාගත් ලකුණු සංඛ්‍යාව 22ක්.

කෙසේ වෙතත් අසේල ගුණරත්න පන්දුව අතට ගැනීමත් සමඟ චන්දිමාල්ට කඩුල්ල අහිමි වූ අතර ඔහුට එරෙහිව පිට පිටම හයේ පහර 2ක් එල්ල කර සිටි වනිඳු හසරංග තවත් ලකුණු සොයා ගිය නිසා අවසානයේ අසේලටම කඩුල්ල පූජා කළා. කමිඳු මෙන්ඩිස් සහ Asif Ali යම් ආරම්භයක් ලබා ගත්ත ද ඉනිම පුරාවටම කැපී පෙනුණේ Mohommad Harisගේ ප්‍රහාරයයි.

ඔහු ඊයේ පන්දු 49කින් ලකුණු 79ක් ලබා ගන්නා අතරේ හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් එල්ල කළා. අවසානයේ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ ඔහු ස්ටම්ප් කිරීමකට ලක් වුවද ඒ වන විටත් සිදුවී ඇති උපරිම හානිය Haris සිදුකර අවසන් බවට නිසොල්මනේ කඩුල්ල සමරණ Jaffna ක්‍රීඩකයින්ගේ මුහුණු සාක්ෂි දැරුවා.

අවසන් පන්දුවාරයේ දී නුවන් තුෂාර කඩුලු 3ක් බිඳ දැමීම නිසා Kandy කණ්ඩායමට ලකුණු 200 අහිමි වුනත්, ඔවුන් කඩුලු 8කට ලකුණු 188ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවා. නුවන් තුෂාර ඊයේ තීරණාත්මක කඩුලු 4ක් දවා ගත්ත ද ඔහු ඇතුළු බොහෝ පන්දු යවන්නන් පන්දුවාරයකට ලකුණු 10 බැගින් ලබා දී තිබුණා. B-Love ප්‍රහාරයෙන් තරමක් දුරට හෝ ගැලවුනේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පමණයි.

Kandy අභියෝගය සෑහෙන්න තරම් විශාල වුවද Gurbaz, Chris Lynn, Miller සහ Malik ඇතුළත් Jaffna සුපිරි පිතිපෙළ හොඳ තරගයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වුවද, B-Love පන්දු යැවීම “හරියට තිතට” පැවතීම නිසා Jaffna ක්‍රීඩකයින්ට හිතේ හැටියට පිත්ත දිග හරින්නට ඉඩ ලැබුනේ නැහැ.

මුලින්ම ඔවුන් මැතිව්ස් සහ Mujeeb යොදා ගනිමින් අඛණ්ඩව හොඳ පන්දු යොමු කරමින් Jaffna පිතිකරුවන්ගේ සංයමය බිඳ දැම්මා. ඒ අතරේ ලකුණු අතර නොසිටින චරිත් අසලංක දැවී යාම ඔවුන්ට අමතර වාසියක් ගෙන දුන්නා. පසුව පිතිකරණයේ යෙදී සිටි Chris Lynn ලකුණක් කරා දුවයාම ප්‍රතික්ෂේප කර තිබෙද්දී තණතිල්ලේ බාගයක් දුර පැමිණ සිටි Rahmanullah Gurbaz දවා ගන්නට Kandy කණ්ඩායමට හැකි වුනා.

ඉන්පසු නායක වනිඳු හසරංග පන්දුව අතට ගැනීමත් සමඟ Jaffna ඉරණම තීන්දු වුනා. තමා යැවූ පළමු පන්දුවාරයේ දී ම ඔහු Chris Lynn සහ දුනිත් වෙල්ලාලගේ පිටියෙන් ඉවත් කළේ ජයග්‍රහණයට පාර කපමින්. ඊයේ පිටියට පැමිණි මොහොතේ සිට පන්දුව පහතින් පැමිණීම ගැන වද වෙමින් සිටි Chris Lynnට ඔහුගේ සුපුරුදු පහරවල් කරා යාමට හැකි වුනේ නැහැ.

මියැදෙමින් තිබූ Jaffna ඉනිමේ අවසන් උත්සාහය ලෙස David Miller සහ Shoaib Malik පස්වැනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් එකතු කළ ද, වනිඳු නැවතත් ක්‍රියාත්මක වෙමින් David Millerව දවා ගත්තා. දකුණත් පිතිකරුවන්ට ගූග්ලි පන්දු යැවීමට ප්‍රිය කරන ඔහු Miller මෙල්ල කළේ හොඳින් දඟ කැවුනු පා දඟපන්දුවක් මගිනුයි.

අසේල ගුණරත්න තමන්ට ලැබුණු කඩුල්ල මුවා කිරීමේ තීරණය අභියෝගයට ලක් කළ ද, රතු එළි 3ක් මගින් ඔහුට පිටියෙන් ඉවත් වන ලෙස සංඥාව ලැබුණා. Jaffna Kings රසිකයින්ගේ අවසන් බලාපොරොත්තුව වූ නායක තිසර පෙරේරාගෙන් දැවැන්ත හයේ පහරවල් වෙනුවට දැක ගන්නට ලැබුණේ ලකුණු ලබා ගැනීමටත් පෙරම කඩුල්ල බිඳී බේල්ස් ඉවත් වන ආකාරයයි.

මේ නිසා Jaffna Kings ඉනිම ඊයේ ලකුණු 127කට සියල්ලන්ම දැවී අවසන් වුනා. සටන්කාමී වෑයමක නිරත වුනු Shoaib Malik ලකුණු 31කුත්, David Miller ලකුණු 26කුත් රැස් කළ ද, එය B-Love දැවැන්ත ලකුණු පුවරුව හඹා යාමට කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැහැ. LPL ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යැවීම තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ තරගයක් වෙනුවෙන්ම ඉතිරි කරගෙන සිටි වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 6ක් බිඳ දැමුවා.

Result


B-Love Kandy
188/8 (20)

Jaffna Kings
127/10 (17.2)

Batsmen R B 4s 6s SR
Mohammad Haris st Rahmanullah Gurbaz b Maheesh Theekshana 79 7 8 4 999.99
Fakhar Zaman b Nuwan Thushara 0 2 0 0 0.00
Dinesh Chandimal lbw b Asela Gunaratne 41 24 6 1 170.83
Wanindu Hasaranga b Asela Gunaratne 19 11 0 2 172.73
Kamindu Mendis b Maheesh Theekshana 17 13 1 0 130.77
Asif Ali c David Miller b Nuwan Thushara 15 13 0 1 115.38
Angelo Mathews c Thisara Perera b Nuwan Thushara 7 5 1 0 140.00
Sahan Arachchige not out 1 1 0 0 100.00
Isuru Udana c Dunith Wellalage b Nuwan Thushara 2 2 0 0 100.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 188/8 (20 Overs, RR: 9.4)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 40 4 10.00
Maheesh Theekshana 4 0 37 2 9.25
Dilshan Madushanka 4 0 43 0 10.75
Dunith Wellalage 4 0 25 0 6.25
Asela Gunaratne 4 0 41 2 10.25


Batsmen R B 4s 6s SR
Chris Lynn lbw b Wanindu Hasaranga 19 19 3 0 100.00
Charith Asalanka c Asif Ali b Mujeeb ur Rahman 1 6 0 0 16.67
Rahmanullah Gurbaz run out (Mohammad Haris) 19 10 1 2 190.00
Dunith Wellalage c Kamindu Mendis b Wanindu Hasaranga 3 5 0 0 60.00
Shoaib Malik c Angelo Mathews b Nuwan Pradeep  31 23 3 1 134.78
David Miller b Wanindu Hasaranga 26 20 0 2 130.00
Asela Gunaratne lbw b Wanindu Hasaranga 0 2 0 0 0.00
Thisara Perera b Sahan Arachchige 0 4 0 0 0.00
Maheesh Theekshana c Sahan Arachchige b Wanindu Hasaranga 15 14 3 0 107.14
Dilshan Madushanka not out 0 1 0 0 0.00
Nuwan Thushara c Lahiru Madushanka b Wanindu Hasaranga 0 1 0 0 0.00


Extras 13 (b 0 , lb 1 , nb 1, w 11, pen 0)
Total 127/10 (17.2 Overs, RR: 7.33)
Bowling O M R W Econ
Angelo Mathews 3 0 23 0 7.67
Mujeeb ur Rahman 4 0 45 1 11.25
Isuru Udana 1 0 2 0 2.00
Wanindu Hasaranga 3.2 0 9 6 2.81
Sahan Arachchige 3 0 23 1 7.67
Nuwan Pradeep  3 0 24 1 8.00



පිත්තෙන් වේගවත් ලකුණු 19ක් සහ පන්දුවෙන් කඩුලු 6ක් සමඟින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගත් වනිඳු හසරංග තරම් තරගයේ වීරයා සම්මානය සඳහා සුදුස්සෙක් ඊයේ ඛෙත්තාරාම පිටියෙන් වාර්තා වුනේ නැහැ. කෙසේ නමුත් Mohommad Harisගේ ඉනිම ද වනිඳුගේ දක්ෂතාවය ආසන්නයෙන්ම තැබිය හැකි.

මේ අනුව හෙට (19) Galle Titans සහ B-Love Kandy අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම Dambulla Aura සමඟ එළැඹෙන ඉරිදා දිනයේ අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා ගනු ඇති.

තෙවරක් ශූරයින් වූ Jaffna Kings පහසුවෙන් පරාජය කළ ද B-Love Kandyට ඉදිරි තරගය පහසු නොවන්නේ මේ තරගය අතරතුරේ දී ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් ආබාධ වල ලක්ෂණ පෙන්නුම් කිරීම නිසයි.

තවත් උණුසුම් තරග දෙකකින් අනතුරුව නව කණ්ඩායමක් ශූරයින් ලෙස කිරුළු පළඳින සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසානය තෙක්ම සියලු තතු විත්ති දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com වෙබ් අඩවිය සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<