මුළුගැන්වූ ව්‍යාඝ්‍රයින් විලස සටන් කළ පාකිස්තානුවන්

Unheard World Cup Stories | Part 08

975
Sportstar

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක් මේ.  

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර අපි හිතුවා පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපිමාලාවේ අටවැන්නයි. 

පාකිස්තානුවන්ගේ ලෝක කුසලාන සිහින චාරිකාව  

1992 ලෝක කුසලානය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන්. බෙන්සන් සහ හෙජස් අනුග්‍රාහකත්වය දක්වපු එවර ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළේ පාකිස්තානු කණ්ඩායම.

ලෝක කුසලානයේ ආරම්භයට පෙර කණ්ඩායම් නමයේ නායකයින් සමූහ ඡායාරූපයකට මුහුණ දෙමින්

ලෝක කුසලානය ජය ගැනීම තෙක් පාකිස්තානුවන් කණ්ඩායමක් ලෙස පැමිණියේ ඇදහිය නොහැකි ගමනක්. තරගාවලියට පෙර කිසිවෙකු පාකිස්තානු ජයග්‍රහණයක් බලාපොරොත්තු වුනේ නැහැ.   

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය පාකිස්තානු කණ්ඩායමේ මූලික සංචිතයට ජ්‍යෙෂ්ඨ පිතිකරු ජාවෙඩ් මියැන්ඩෑඩ් ඇතුලත්ව හිටියේ නෑ.  

මියැන්ඩෑඩ් ලෝක කුසලානයට කළින් ලාහෝර් නුවර තිබුණ පුහුණු කඳවුරක දී පිට කොන්දේ ආබාධයකට ලක්වුනා. හැබැයි මියැන්ඩෑඩ් පාකිස්තානු සංචිතයට ඇතුළත් නොවීම පිටුපස කතාන්දර ගොඩක් තිබුණා.  

එයින් එකක් විදියට කියවුණේ එවකට පාකිස්තානු කණ්ඩායමේ නායකත්වය දරපු ඉම්රාන් ඛාන්ගේ බලපෑම. ඉම්රාන් එක්ක තිබුණ නොහොඳ නෝක්කාඩු ප්‍රශ්න මියැන්ඩෑඩ්ගේ ඉවත් කිරීමට බලපාපු බව තමයි මියැන්ඩෑඩ් එයාගේ චරිතාපදානයේ පවා ලියලා තිබුණේ. 

පිතිකරණ ලැයිස්තුවේ නිසි ස්ථානයක් නොදී ඉහළ පහළ යැවීම සහ ඔහුට සුපුරුදු නොම්මර හතර ස්ථානයෙන් ඉවත් වන්නට ඉම්රාන් කළ ඉල්ලීම මියැන්ඩෑඩ් ප්‍රතික්ෂේප කර තිබීම මේ ප්‍රශ්න තවත් උග්‍ර කර තිබුණා. 

ජාවේඩ් මියැන්ඩෑඩ් කියන්නේ ලෝක කුසලාන කිහිපයක් ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායමේ හිටිය අත්දැකීම් බහුලතම පිතිකරුවා. ඒ වෙද්දී සීමිත පන්දුවාර තරගවල පාකිස්තානයෙන් බිහි වෙච්ච හොඳම පිතිකරුවා. එහෙව් මියැන්ඩෑඩ් නැතුව තමයි පාකිස්තානු කණ්ඩායම එදා ලෝක කුසලානයකට එන්නේ.

පාකිස්තානුවන් ඒ වෙද්දී සොයා ගෙන තිබුණු වේගපන්දු තුරුම්පුව වකාර් යුනිස්ටත් කොන්දේ ආබාධයක් ඇති වෙලා තිබුණා.  

වකාර් කියන්නේ අධික වේගයෙන් දෝලනය වෙන යෝකර් පන්දු එහෙම යවන්න පුළුවන් ඉම්රාන් සතුව හිටපු හොඳ ඉදිරිපෙළ සටන්කාමියෙක්. ඇත්තටම වකාර්ට සම කරන්න පුළුවන් තවත් කෙනෙක් පාකිස්තානුවන් සතුව හිටියේ නෑ. 

මේ වෙද්දී පාකිස්තානු වේගපන්දු බලඇණියට නායකත්වය දෙමින් සිටි වසීම් අක්‍රම් හිටියේ සුදු පන්දුවේ දෝලනය හරිහැටියට පාලනය කරගන්න බැරි තැනක.  

ඒ වගේම දකුණත් පිතිකරුවාගෙන් ඉවතට දෝලනය වෙන පන්දුව ඔහුගේ ආයුධ ගබඩාවෙන් සම්පූර්ණයෙන්ම ගිලිහි ගිහින් තිබුණා. පුහුණු දැල්වල දී වසීම් උපරිමයෙන්ම උත්සහ කළේ නැවත වතාවක් ඒ පන්දුව තමන්ගේ ග්‍රහණයට ගන්න. 

ලෝක කුසලානයට කලින් තිබුණ පෙරහුරු තරගවල දී කණ්ඩායමේ දඟපන්දු යවන්නා වෙච්ච මුෂ්ටාක් අහමඩ් පන්දු යැව්වෙත් ඉතාම දුර්වල ආකාරයෙන්. කඩුලු කිහිපයක් දවා ගත්තත් ඒ සියලුම කඩුලු පිතිකරුවන්ගේ දුර්වල පහරවල් නිසා ලැබුණ කඩුලු වුනා 

බොහෝ විට මුෂ්ටාක් අවසන් ක්‍රීඩකයින් 14 දෙනාගේ සංචිතයෙන් ඉවතට යැවෙන බවක් පේන්න තිබුණා. තවත් පා දඟපන්දු යවන්නෙකු පාකිස්තානුවන්ගේ මූලික සංචිතයේ සිටියා. ඔහු නමින් ඉක්බාල් සිකන්දර් 

කෙසේ වෙතත් මේ ක්‍රීඩකයින් දෙදෙනා අතරේ දෝලනය වෙමින් තිබූ සංචිතයේ ප්‍රධාන දඟපන්දු යවන්නාගේ ස්ථානය දිනා ගැනීමට මුෂ්ටාක් අහමඩ් සමත් වුනා. ඒ අවසන් මොහොතේ ඉම්රාන් ඛාන් ගත් ක්ෂණික තීරණයක් නිසා. නමුත් තිස්තුන් හැවිරිදි ඉක්බාල් සිකන්දර්ටත් අවසන් ක්‍රීඩකයින් 14 අතරේ ඉඩක් වෙන් කරන්නට ඉම්රාන් තීරණය කළා. 

පාකිස්තානු පිතිකරණ ලැයිස්තුවත් මේ වෙද්දී ඒ තරම් උසස් මට්ටමින් දස්කමින් හිටියේ නැහැ. ලෝක කුසලානයට කලින් තිබුණ පෙරහුරු තරග 8ක දී පාකිස්තානු කණ්ඩායමට ලකුණු 200 සීමාව ඉක්මවා යන්න පුළුවන් වුනේ එකම එක අවස්ථාවක දී පමණයි. එය ලෝක කුසලාන තරගාවලියට සුදුසු අන්දමේ පෙර සූදානමක් වුනේ නැහැ. 

පාකිස්තානු පිතිකරණ ලැයිස්තුව පෙන්වූ දුර්වලතාවය ජාවේඩ් මියැන්ඩෑඩ් නම් පරිණත පිතිකරුවාට නැවත ලෝක කුසලානයකට සහභාගී වීමේ වරමක් උදා කර දුන්නා. 

අපිට ආපහු ජාවේඩ් ඕන’ යන පණිවිඩය පාකිස්තානයට ලැබෙන්නට වැඩි දවසක් ගියේ නෑ. 

හරියටම 1992 පෙබරවාරි 14 වැනිදා මියැන්ඩෑඩ් ඕස්ට්‍රේලියාවේ සිටි පාකිස්තානු කණ්ඩායම සමඟ එක් වුනා. ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් දින තුනක් ගෙවන තැන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පෙරහුරු තරගයේ දී අගනා ලකුණු 80ක් වාර්තා කර ගැනීමට මියැන්ඩෑඩ් සමත් වුනා.  

මේ වෙද්දී නායක ඉම්රාන් ඛාන් යහපත් ශරීර සෞඛ්‍යයකින් පසු වුනෙත් නැහැ. ඉම්රාන්ගේ උරහිසේ ආබාධය වැඩි වෙමින් තිබූ අතර ලෝක කුසලාන තරග කිහිපයක් මගහැරෙන ආකාරයකුත් පෙනෙන්නට තිබුණා. 

පාකිස්තානු කණ්ඩායමේ සිටි තවත් පරිණත ක්‍රීඩකයෙක් වෙච්ච සලීම් මලික් හිටියෙත් ඉතාම දුර්වල තත්වයක. ජාවේඩ් මියැන්ඩෑඩ් පැමිණීමත් මලික් වෙත ලබා දී තිබූ උපනායකත්වය මියැන්ඩෑඩ් වෙත පැවරීමත් නිසා ඔහු එතරම් සතුටකින් හිටි බවක් පෙනුණේ නැහැ. 

ඉජාස් අහමඩ්ගේ පිතිකරණයත්, පන්දු යැවීමත් දුර්වල අඩියකට වැටෙමින් තිබුණා. නවක ක්‍රීඩකයෙක් ලෙස පැමිණි ඉන්සමාම් උල්හක් ඕස්ට්‍රේලියානු තණතිලිවලට හැඩ ගැහෙන ස්වරූපයක් පෙනෙන්නට තිබුණේම නැහැ. 

පාකිස්තානුවන් සිය ලෝක කුසලාන ගමන ආරම්භ කළේ මෙවන් සැක සංකා මැද. මෙවන් තත්ත්වයක් යටතේ ආරම්භ කළ සිය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළ පාකිස්තානුවන්ට මුල් තරග කිහිපය මොනම ආකාරයකින්වත් යහපත් වුනේ නැහැ. 

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තරගය පාකිස්තානුවන් පරාජය වුනේ කඩුලු 10කින්. බ්‍රයන් ලාරා, ඩෙස්මන්ඩ් හෙන්ස් සහ රිචී රිචර්ඩ්සන් මේ ඉලක්කය හඹා ගියේ කිසිම ගැටලුවක් නැතුව 

මේ තරගයේ පාකිස්තානු පන්දු යවන්නන්ගේ පැත්තෙන් සිදු වෙච්ච එකම සැලකිය යුතු කාරණාව වසීම් අක්‍රම්ගේ වේගවත් යෝකර් පන්දුවක් පාදයේ වැදී බ්‍රයන් ලාරාට පිටියෙන් ඉවත් වෙන්න වෙච්ච එක. 

එංගලන්ත කණ්ඩායම සමඟ පැවති තරගයේ දී පාකිස්තානු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් දැවී රැස් කළේ යාන්තම් ලකුණු 74ක්. මේ තරගයට වර්ෂාවෙන් බාධා ඇති වෙච්ව නිසා කණ්ඩායම් දෙකටම සමානව ලකුණු බෙදිලා ගියා.  

ඊට පස්සේ පාකිස්තානු කණ්ඩායම සිය සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයා ඉන්දියානු කණ්ඩායම හමුවේත් ඉතාම පහසුවෙන් පැරදුණා. 

හැබැයි ඉම්රාන් ඛාන් කියන පාකිස්තානු නායකයා වැඩේ අතාරින්න සූදානම් වුනේ නෑ.  

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගයේ කාසියේ වාසිය දැමීමට පාකිස්තානු නායකයා ඇඳගෙන ආවේ ටීෂර්ට් එකක්. එහි සුදු පසුබිමේ ව්‍යාඝ්‍රයකුගේ රුවක් සිතුවම් කර තිබුණා. ඒ ගැන විස්තර විචාරක ඉයන් චැපල් විමසූ අවස්ථාවේ දී ඉම්රාන් කිව්වේ මෙහෙම කතාවක්.

“ඒක තමයි මම ඇලන්ට (ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර්) කියමින් හිටියේ මට ඕනේ අද මගේ කණ්ඩායමට මුළු ගැන්විච්ච ව්‍යාඝ්‍රයෙක් වගේ සටන් කරනවා දකින්න. ඔබ දන්නවා ව්‍යාඝ්‍රයෙක් වඩාත් භයානක වන්නේ එහෙම වුණාමයි.” 

එදා ඕස්ට්‍රේලියාව සමඟ තරගය ජයග්‍රහණය කරන්න පාකිස්තානුවන් සමත් වුනා. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යන රටවල් දෙක පරාජය කිරීමත්, එංගලන්තය එක්ක තරගයේ දී ලැබිච්ච ලකුණකුත් එක්ක අවසාන පූර්ව තරගයට පැනගන්න පාකිස්තානය සමත් වුනා. 

ඒ වෙනකල් 1992 ලෝක කුසලාන තරගාවලියේ හොඳටම කරපු කණ්ඩායමක් වෙච්ච නවසීලන්තය තමයි ඔවුන්ට අවසාන පූර්ව තරගයේ දී මුණ ගැහෙන්නේ.  

බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුනේ නවසීලන්තය මේ තරගය විතරක් නෙවෙයි ලෝක කුසලානයම ජයග්‍රහණය කරාවි කියලා. 

තරගය පැවැත්වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඊඩන් පාක් ක්‍රීඩාංගණයේ දී නවසීලන්තයට හුරුපුරුදු තත්ත්වයන් යටතේ. හැබැයි ඒ තරගයේ දී නවසීලන්තයේ ඉරණම් ගමන තීරණය කරන්න පාකිස්තානුවන් සමත් වුනා. ඒකට මූලිකත්වය ගත්තේ ඉන්සමාම් උල්හක් කියලා අවුරුදු විසිදෙකක තරුණයෙක්.  

මේ තරගයට එද්දී ඉන්සමාම්ට උදරයේ ආබාධයක් නිසා ක්‍රීඩා කරනවා ද, නැද්ද කියලා පොඩි දෙගිඩියාවකින් හිටියේ. හැබැයි ඉම්රාන් ඛාන්ගේ දැඩි ඉල්ලීම නිසා ඔහු මේ තරගය ක්‍රීඩා කරනවා.  

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් ඉන්සමාම්ගේ දායකත්වය පන්දු 37කින් ලකුණු 60ක්. පාකිස්තානුවන් ජයග්‍රහණය කරද්දී එක පැත්තක නොදැවී ක්‍රීඩා කරමින් හිටියේ ජාවේඩ් මියැන්ඩෑඩ්. ඒ වගකීම් සහගත අර්ධ ශතකයක් සමඟින්. 

ලෝක කුසලාන අවසන් මහා තරගය දවස උදා වෙද්දී පාකිස්තානු කණ්ඩායම දස්කම් අතින් උපරිම තලයට පැමිණෙමින් තිබුණේ. 

අවසන් මහා තරගයේ දී පිත්තෙන් වැඩිම දායකත්වයක් දෙන්නේ නායක ඉම්රාන් ඛාන්. පාකිස්තානු කණ්ඩායමේ මුල් කඩුලු දෙක අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය මොහොතක පාකිස්තානු නායකයා සහ උපනායක ජාවේඩ් මියැන්ඩෑඩ් තෙවැනි කඩුල්ලට ලකුණු 139ක අනගි සබඳතාවයක් ගොඩ නගනවා. වැදගත්ම කාරණාව මේ ක්‍රීඩකයින් දෙදෙනා අතර තිබුණ විරසකය අමතක කරලා කණ්ඩායම වෙනුවෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ ආකාරය. 

පාකිස්තානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 249ක් රැස් කරනවා. ඉම්රාන් පිත්තෙන් ලකුණු 72ක් වාර්තා කර ගත් අතරේ මියැන්ඩෑඩ් ලකුණු 58ක් රැස් කරගන්නවා. 

පාකිස්තානුවන් ලබා දුන් ඉලක්කය සාර්ථකව හඹා යන්න එංගලන්ත කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. 

පන්දුවාර 49.2ක් ඇතුළත එංගලන්ත කණ්ඩායමට රැස් කරගන්න පුළුවන් වුනේ ලකුණු 227ක් පමණයි. 

පාකිස්තානය වෙනුවෙන් අවසන් මහා තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නේ මුෂ්ටාක් අහමඩ් අතින්. හැබැයි පන්දු යැවීමෙන් අදටත් කතා වෙන දස්කමක් දක්වන්න සමත් වෙන්නේ වසීම් අක්‍රම් 

පිට පිට පන්දු දෙකක දී ඇලන් ලෑම්බ් සහ ක්‍රිස් ලුවිස් දවා ගන්න අක්‍රම් යවපු පන්දු දෙක ලෝක කුසලාන ඉතිහාසයේ විතරක් නෙවෙයි ක්‍රිකට් ඉතිහාසයේම අමරණීයම පන්දු දෙකක්.  

මේ දස්කම ගැන කියද්දී අක්‍රම් කියන්නේ අදටත් ඒ පන්දු දෙක ගැන එයාට හිතාගන්නවත් බෑ කියලා. අක්‍රම් මේ තරගයේ දී කඩුලු තුනක් දවා ගත්තා. පිතිකරණයෙන් පන්දු 18කින් වටිනා ලකුණු 33ක් එක් කළ අක්‍රම් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

වසීම් අක්‍රම්, ඉයන් බෝතම්ගේ කඩුල්ල දවාගත් ආකාරය

එංගලන්ත කණ්ඩායමේ අවසාන කඩුල්ල ලෙස දැවී ගිය රිචර්ඩ් ඉලිංවර්ත් දැවී ගියේ පාකිස්තානු නායක ඉම්රාන් ඛාන්ගේ පන්දුවක් හමුවේ. ඒක නියම අවසානයක්. නියම පිටපතක්. 

අන්න ඒ විදියට තමයි එදා පාකිස්තානුවන් කවුරුත් නොහිතපු විදියට ලෝක කුසලානයක් මෙල්බර්න් නුවර දී ජයග්‍රහණය කළේ. 

තවත් කතාවක් සමඟ නැවත හමුවෙමු. 

විස්ඩන් ක්‍රිකට්’හි ලිපියක් ඇසුරු කරගන්නා ලදි. 

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<