ඉවත දැමූ ‘සිමෝ’ ලෝක කුසලානයකට පාර කපයි!

Unheard World Cup Stories | Part 05

1196
Getty Images

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක් මේ.

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර අපි හිතුවා පහුගිය තරගාවලි අතරේ සිද්ධ වෙච්ච වැඩිය අහලා නැති සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපිමාලාවේ පස්වැන්නයි.

2003 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වුණේ අප්‍රිකානු මහද්වීපයේ. හරියටම කියනවා නම් දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ කෙන්යාව කියන රටවල් තුනේ සම සත්කාරකත්වයෙන්.

එවකට ලෝක ශූරයින් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශක්තිමත් සංචිතයක් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළා. නමුත් දකුණු අප්‍රිකාවට යන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය තැනක් ඇන්ඩෲ සයිමන්ඩ්ස්ට වෙන්වෙලා තිබුණේ නෑ.

සයිමන්ඩ්ස් කියන්නේ ඒ වෙද්දී නිතරම කියවෙන නමක් නෙවෙයි. හැබැයි ඔහුගේ දක්ෂතා ගැන විශ්වාස කරපු කෙනෙක් හිටියා. ඔහු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින්.

තම සහජ හැකියාව ඒ වන විටත් ක්‍රියාවට නංවන්නට නොහැකි වූ සයිමන්ඩ්ස් ගැන පොන්ටින්ගේ තිබුණේ විශාල කලකිරීමක්. 2003 ලෝක කුසලාන සංචිතයට සයිමන්ඩ්ස් ඇතුළු වෙන්නේ පොන්ටින්ගේ දැඩි ඉල්ලීම නිසා.

ඒ වෙද්දී එක්දින ජාත්‍යන්තර තරග 54කට ක්‍රීඩා කරලා හිටපු සයිමන්ඩ්ස් රැස් කරගෙන හිටියේ අර්ධ ශතක දෙකක් පමණයි.

“ලෝක කුසලාන සංචිතයට තේරී ඇති බවට පුවත මට ලැබුණේ මා පුහුණුවීම්වල යෙදී සිටිය දී. කෙනෙකු මා වෙත පැමිණ පැවසුවා මා ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු සංචිතයට මා තෝරාගෙන ඇති බව.

මා ඔහුගෙන් ඇසුවා ඔබට හොඳටම විශ්වාස ද කියල. ඔහු එය නිවැරදි ආරංචියක් බවට නැවත වතාවක් ස්ථීර කළා. මම පොඩ්ඩක් වටපිට බැලුවාම මා වටා සිටි අනෙක් ක්‍රීඩකයින් දැක්කා. මට ඇති වුනේ සෑහෙන පුදුමයක්. එකක් මා එතරම් දස්කම් අතර නොසිටීම. අනෙක බ්‍රැඩ් හොජ් වැනි ක්‍රීඩකයෙක්, ඕස්ට්‍රේලියානු දේශීය තරගවල දී ඉහළ දස්කම් දක්වන ක්‍රීඩකයින් ලෝක කුසලාන සංචිතයට තෝරා නොගැනීම. නමුත් මට ඒ වෙනුවෙන් කිරීමට කිසිවක් නොමැතිබවත් මගේ සේවය කණ්ඩායමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සූදානම් වීම හැර වෙනත් විකල්පයක් මට නොමැතිබවත් මට හැඟී ගියා.”

සයිමන්ඩ්ස් තමන්ගේ තෝරාගැනීම ගැන පසුකලෙක කිව්වේ එහෙම.

ඕස්ට්‍රේලියානුවන් එවර ලෝක කුසලානයේ මංගල තරගයට ක්‍රීඩා කළේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව. තරගයට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මරු පහරවල් කිහිපයක් එල්ල වුනා.

තරගාවලිය ආරම්භ කරන්න ඔන්න මෙන්න තියෙද්දී ෂේන් වෝන් තහනම් උත්තේජක ලබා ගැනීමේ වරදට නැවත ඕස්ට්‍රේලියාවට හරවා යැවුණා.

ඊට කලින් තිබුණ තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ හමේ පාට ඉලක්ක කරගෙන නොහොබිනා වදන් කියපු ඩැරල් ලීමන්ට තරග තහනමක්. ඒ ඔක්කොම අස්සේ මයිකල් බෙවන්ට ආබාධයක්.

එදා ලකුණු පුවරුවේ ලකුණු 86 සටහන් විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල්පෙළ කඩුලු හතරක් දවා ගැනීමට පාකිස්තානුවන් සමත් වුනා. ඇඩම් ගිල්ක්‍රිස්ට්, මැතිව් හේඩ්න්, ඩේමියන් මාටින් සහ ජිමී මහාර් ඒ වන විට සිටියේ ක්‍රීඩක විවේකාගාරයේ. පළපුරුදු පාකිස්තානු වේගපන්දු කරුවන් දෙදෙනා වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් හොඳම රිද්මයක ඉන්න වෙලාවක අපේ කතානායකයා පිටියට ආවා.

ඔහු පස්සේ කාලෙක කියපු විදියට ඔහු පිටියට එන්නේ දැඩි නොසන්සුන් බවකින්.

“හතරවැනි කඩුල්ල දැවී ගිය පසු මා පිටියට යෑමට නියමිතව සිටියා. නමුත් මම අවංකවම ඔබට කියන්නම් මට පිතිහරඹයට පිටිය මැදට යන්නට කිසිදු විශ්වාසයක් තිබුණේ නැහැ.”

එදා ඇන්ඩෲ සයිමන්ඩ්ස් පිටියට පිවිසෙන කඩුල්ලේ රැඳී සිටියේ නායක රිකී පොන්ටින්ය.

“අද ඔබේ දවස. අවසානය දක්වා ඔබ කඩුල්ලේ රැඳී සිටිය යුතුයි.”

පොන්ටින් තමාගේ රෙකමදාරුවෙන් රැගෙන ආ ක්‍රීඩකයාට පැවසුවේය.

“ඇත්තටම කිව්වොත් මගේ ක්‍රිකට් දිවිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ඉනිම ඒක කියලා මම විශ්වාස කළේ නෑ. ඉනිම ආරම්භයේ දී මම උත්සාහ කළේ කෙසේ හෝ නොදැවී සිටීමට. වසීම් සහ වකාර් හොඳින් පන්දු යවමින් සිටියා. විශේෂයෙන්ම වසීම්ට මුහුණ දීම කිසිලෙසකින්වත් ලෙහෙසි වුනේ නැහැ. අනිත් කාරණාව වසීම් ඊට පෙර කිහිපවතාවක් පහසුවෙන්ම මා දවාගෙන තිබුණා.

ටික වේලාවක් පන්දුවට පහර දෙන විට මට යම් සැහැල්ලු ගතියක් දැනුණා. මම එයින් විනෝදයක් ලබන්නට වුනා. මා මෙතනට ගැළපෙන බව මට දැනෙන්නට වුනා.

ඇන්ඩෲ සයිමන්ඩ්ස් පාකිස්තානයට එරෙහිව ශතකය වාර්තා කර ගත් මොහොත

මගේ ඉනිමේ අවසාන කොටසේ දී මම වසීම් අක්‍රම් එවූ පන්දුවකට මිඩ්-ඕන් කලාපය හරහා හයේ පහරක් එල්ල කළා. මගේ ක්‍රිකට් ජීවිතයේ මා එල්ල කළ විශිෂ්ටතම පහරක් ලෙස එය සලකන්න පුළුවන්.

මගේ ඉනිම අතර මැද වකාර් යුනිස් එවූ බීමර් පන්දු දෙකක් එව්වා. ඔව් මම විශ්වාස කරනවා මගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ ජොහැන්ස්බර්ග් ඉනිම එය බවට.

එදා ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණය දෙවනත් කරමින් සයිමන්ඩ්ස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 143ක්. මේ ඉනිම එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ අනර්ඝතම ඉනිම් වලින් එකක්.

සයිමන්ඩ්ස් පාකිස්තානු කණ්ඩායම නැත්තටම නැති කරමින් පන්දුවට පහර දෙන අවස්ථාවේ දී ඕස්ට්‍රේලියාවේ වාසය කරන එක්තරා පුද්ගලයෙකු පසුවුනේ දැඩි ආතතියකින්.

“මම කොයි තරම් නොයිවසිලිමත් බවකින් හිටියා ද කියනවා නම් උවමනාවෙන්ම තරග නැරඹීම මගහරින්න තීරණය කළා.

එක්තරා අවස්ථාවක කෙනෙක් මට ඇවිත් කිව්වා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු කිහිපයක් දැවී ගොස් ඇති බවත් ඇන්ඩෲ පන්දුවට පහර දෙමින් සිටින බවත්. එවලේ මම මගේ මෝටර් රථය පදවමින් සිටියේ. නමුත් රේඩියෝව ක්‍රියාත්මක කරන්න තරම්වත් ධෛර්යයක් මට තිබුණේ නැහැ.

ඊට පැයකට පමණ පසු මගේ බිරිඳ බාබ්රාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා.

‘ඔබ තරගය බලනවා හෝ අහනවා ද? ඇන්ඩෲ දැන් ලකුණු 96යි.’ ඇය කිව්වා.

මම ඒ අවස්ථාවේ දී නිවසට කිට්ටුවෙමින් හිටියේ. මම ගෙදරට ළඟා වන විට ඔහු ශතකය රැස් කරගෙන අවසන්. නමුත් බාබරා එය පන්දුවෙන් පන්දුවට පටිගත කරගෙන තිබුණා.

මම නිවීහැනහිල්ලේ ප්‍රොජෙක්ටර් එකක දාගෙන තනියම මේක බලනවා කියලා හිතා ගත්තා.”

ශ්‍රී ලංකාව සමඟ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 91ක් රැස් කළ සයිමන්ඩ්ස්

කෙන් සයිමන්ඩ්ස් පසුකලෙක සිය පුත්‍රයාගේ වික්‍රමය ගැන පුවත්පතකට ආවර්ජනය කළේ එහෙම.

2003 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දෙන්නට විශාල මෙහෙවරක් කළ අයෙක් සයිමන්ඩ්ස්. ඔහු අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 91ක් වාර්තා කළා. එය තරගය ඕස්ට්‍රේලියාව පැත්තට නැඹුරු කරගන්නට මනා පිටිවහලක් වුනා. පිතිකරණයට අමතරව සයිමන්ඩ්ස් පන්දු රැකීමේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නව ජීවයක් එක් කළා.

රිකී පොන්ටින් ඕස්ට්‍රේලියානු නම් නායකයා තමන් විශ්වාස කළ මතය වෙනුවෙන් නොබියව පෙනී සිටීම සහ ඇන්ඩෲ සයිමන්ඩ්ස් එම විශ්වාසයට උපරිම සාධාරණීකරණයක් කිරීම සැබැවින්ම ලෝක කුසලාන ඉතිහාසයේ අමරණීය මතක සටහනක්.

රිකී පොන්ටින්ගේ චරිතාපදානය සහ Cricket Legends වැඩසටහන ඇසුරෙනි.

තවත් කතාවක් සමඟ නැවත හමුවෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<