අර්ජුන කඩුල්ලට එද්දිම මම ඒ වෙනස කළා නම්?

Unheard World Cup Stories | Part 06

2381

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක් මේ. මෙවර තරගාවලියේ ආරම්භයට පෙර අපි හිතුවා පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපිමාලාවේ හයවැන්නයි. 

1996 ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දැරුවේ මාක් ටේලර් විසින්. එදා අවසන් මහා තරගය ගැන මතකය ටේලර් පස්සේ කාලෙක එයාගේ චරිතාපදානයක ලියලා තිබුණේ මේ ආකාරයෙන්. 

“කාසියේ වාසිය දිනාගෙන ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග අපිට පිතිකරණයට ආරාධනා කළාම මම පුදුම වුනා. තරගය ඉදිරියට යද්දී කඩුලු මන්දගාමී වෙන්න පුළුවන්. දඟපන්දු යවන්නන්ට සුදුසු වෙන්න පුළුවන්. මුලින්ම පන්දුවට පහරදීම තමයි සුදුසුම දේ කියලා අපි හිතුවේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවර විදුලි ආලෝකය යටතේ පුහුණුවීම් කර තිබුණ නිසා ඔවුන්ට නම් මොකක්ද කරන්නේ කියලා යම් අදහසක් තිබුණා. ඒත් එක්කම ඔවුන්ට යම් දේශීය දැනුමකුත් තිබුණා. පින්න කොතරම් තදට වැටෙනවා ද කියලා ඔවුන් හොඳටම දැනගෙන හිටියා. 

අවසන් මහා තරගයට කළින් දවසේ රෑ ලාහෝර් නුවරට දෙගොඩ තලා යන්න වැස්සා. තරගය දවසේ උදේ තුනට විතර මම නැගිට්ටා. තාමත් හයියෙන් වහිනවා. 

සාමාන්‍යයෙන් ඉන්දියානු උපමහාද්වීපයේ ක්‍රීඩාංගණවල ජලය බැසයෑම ඕස්ට්‍රේලියාවේ තරම් හොඳ නැති බව අපි දැනගෙන හිටියා. තැන තැන ජලය තටාකයක වගේ එකතු වෙලා තිබුණා. උදේ කෑම වේල ගන්න අතරේ මම කොල්ලන්ට යෝජනා කළා වේලාසනින් ක්‍රීඩාංගණයට යෑම තේරුමක් නැති වැඩක් කියලා. 

තරගය කෙරෙන එකක් නෑ කියල හිතුවත් දවල් වරුවේ ආපහු මම ක්‍රීඩාංගණය පැත්තට යද්දි තේරුම් ගියා තත්ත්වය මම හිතුව තරම්ම නරක නැහැ කියලා.  

එවලේම මම හෝටලයට කතා කරලා කණ්ඩායමට කිව්වා ඉක්මනින් පිට්ටනියට බහින එක හොඳයි කියලා. 

ලෝක කුසලාන අවසන් මහා තරගය ආරම්භ කිරීමට පෙර කණ්ඩායම් දෙකේ නායකයින් ඡායාරූපයකට මුහුණ දුන් ආකාරය

අපි හොඳ ආරම්භයක් ලබා ගත්තා. මම තරගාවලියේ මම හොඳින්ම පන්දුවට පහර දුන්නේ මේ තරගයේ දී කියලා හිතනවා. මම ලකුණු 74ක් රැස් කළා. අපි මුල් ඕවර තිහ නිමාවේ දී කඩුලු තුනකට ලකුණු 150ක් විතර ගහලා තිබුණා.  

නමුත් එතනින් එහාට අපිට ලොකු දෙයක් කරන්න බැරි වුනා. ඉතිරි පන්දුවාර විස්සටම අපිට ගන්න පුළුවන් වුනේ ලකුණු 90ක් විතරයි. ඒ ටික ගැහුවෙත් හරිම අමාරුවෙන්. 

අපි එදා ලකුණු 241ක් රැස් කළා. මට හිතුණා අපිට ලකුණු 30ක් විතර මදි කියලා. 

අපිට හොඳ අවස්ථාවක් තිබුණා මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 23ක් වෙද්දි ක්‍රීඩාගාරයට යවන්න අපිට පුළුවන් වුනා 

ලෝකයේ හැම විස්තර විචාරකයෙක්ම සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ දෙදෙනා ක්‍රීඩා කරන ආකාරය සහ ක්‍රිකට් වෙනස් කරපු ආකාරය කතා කරමින් හිටපු කාලයක් ඒක. 

නමුත් පින්න එක්ක වැඩේ ඔක්කොම අවුල් ගියා. බෝලේ නිකන් සබන් කෑල්ලක් වගේ ලිස්සනවා. 

අපේ ලොකුම බලාපොරොත්තුව වෙච්ච ෂේන් වෝන්ටත් එදා ලොකු දෙයක් කරන්න බැරි වුනා. ඔහුගේ ඕවර දහයට ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 58ක් ගැහුවා. 

අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා ලකුණක් ලබාගන්නා අවස්ථාවේ මාක් ටේලර් උද්‍යෝගිමත් ප්‍රතිචාරයක් පාමින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 148 දී අසංක ගුරුසිංහ දැවී ගියේ පෝල් රයිෆල්ගේ පන්දුවක් හමුවේ. 

කණ්ඩායම රැස්වෙලා ඒ කඩුල්ල දවා ගත්ත එක සමරන වෙලාවේ මම කිව්වා අපි උඩපන්දු කිහිපයක් අතෑරියත් තාම ගේම් එකේ ඉන්නේ මේක අතාරින්න බෑ කියලා.  

නවක පිතිකරුවා විදියට එන්න ඉන්නේ අර්ජුන රණතුංග. මම හිතුවා ස්ලිප් වලට යන්න ඕන කියලා. 

හැබැයි මට ඒක අමතක  වුනා. රයිෆල් පන්දු යවන්න දුවගෙන යද්දී මට මතක් වුනා මම ස්ලිප්ස්වල නේද ඉන්න ඕන කියලා. මොකක්දෝ හේතුවකට මට ඒ වෙලාවේ ක්‍රීඩාව නවත්වන්න හිතුණේ නැහැ.  

අර්ජුන රණතුංග ක්‍රීඩා කරපු මුල්ම පන්දුව පිත්තේ පිට දාරයේ වැදිලා ස්ලිප් කලාපය හරහා ඇදීගියා. මට දැනුණේ විශාල කළකිරීමක්. අර්ජුන තරගය නිමා වෙනකල් නොදැවී පන්දුවට පහර දුන්නා.  

කවුරුහරි ඇහුවොත් මගේ ක්‍රිකට් ජීවිතයේ පසුතැවීමක් ගැන මට කියන්න සිද්ධ වෙන්නේ එදා ස්ලිප්ස් වෙත නොගියපු එක. 

අරවින්ද ඉතාම හොඳින් පන්දුවට පහර දුන්නා. ඔහු අගනා ශතකයක් ලබාගත්තා. ඇත්තටම කිව්වොත් ශ්‍රී ලංකා කණ්ඩායම එදා අපිව සම්පූර්ණයෙන්ම පරාජය කළා.  

මට අවසන් තරගයේ පරාජය ගැන ලොකු දුකක් ආවේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම ඇත්තටම ලෝක කුසලාන ජයග්‍රහණයකට ඉතාම සුදුසුයි. ලෝක කුසලානයට මාස කිහිපයකට කළින් ඉඳලාම ඔවුන් සෑහෙන අසීරුතාවයන්ට මුහුණ දුන්න කණ්ඩායමක්. 

මම මගේ ක්‍රිකට් ජීවිතය දිහා ආපසු හැරිලා බැලුවාම, මට සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ එකම දෙය ලෝක කුසලාන ජයග්‍රහණයක්. ඒත් මම එදා රාත්‍රියේ මගේ කණ්ඩායම ක්‍රීඩා කරපු ආකාරය ගැන ඉමහත් ආඩම්බරයට පත්වුනා. ඔවුන් දැඩි පීඩනය සටන් කළ ආකාරය අති විශිෂ්ටයි. 

ලෝක කුසලාන තරගාවලිය ඒ ආකාරයෙන් නිමා වීම ගැන මට ඇති වුනේ සතුටක්. ආපහු ගෙදර යන එක ඊටත් වඩා සතුටක්. එක දිගට අපිටත් මුණදෙන්න වුන පන්දුව දමාගැසීමේ චෝදනා, අල්ලස් දීම්, තරග පාවාදීම් චෝදනා, පන්දුව පළුදු කිරීමේ ප්‍රශ්න නිසා එක අතකට අපි හෙම්බත් වෙලා හිටියේ. 

ක්‍රිකට් ක්‍රීඩාව එහි ඉහළම පරිපාලන මට්ටම්වල දී වඩා දැඩි විය යුතු බවත්, එය පහතට ඇද දමන දේවල් සම්බන්ධයෙන් තීරණාත්මකව ක්‍රියා කළ යුතු බවත් මට ලෝකයා හමුවේ කියන්න ඕන වෙලා තිබුණා. තරගයෙන් පස්සේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඉස්සරහා මට ඒ දේවල් ගැන කියන්න අවස්ථාවකුත් ලැබුණා.” 

මේ ලිපිය සකස් වෙන්නේ මාක් ටේලර්ගේ ජීවිත කතාව ලියූ චරිතාපදානයක් ඇසුරෙන්. Mark Taylor: Time to declare පොතේ ටේලර් සඳහන් කරනවා අර්ජුන රණතුංග මුහුණ දුන් පළමු පන්දුවටම ස්ලිප් කලාපය හරහා උඩපන්දුවක් ලබා දුන් බවට.  

මේ සිදුවීම නැවත වතාවක් නිරීක්ෂණය කළ ලියුම්කරුට පෙනී ගියේ අර්ජුන එල්ල කළ පහර හිතාමතාම එල්ල කළ එකක් බව සහ එය පාලනයක් සහිතව එල්ල කළ බවයි. 

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<