ඉන්දීය නායකයාගේ ඔළුව යකාගේ කම්මල කළ ශ්‍රී ලාංකිකයෝ!

Unheard World Cup Stories | Part 03

5060

මේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක්.  

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර අපි හිතුවා පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපි මාලාවේ තෙවැන්නයි. 

1995/96 ඕස්ට්‍රේලියාවේ පැවති බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා තරගාවලිය අතරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහ කළමනාකාරිත්වය අමුතු තාලයේ උපක්‍රමයක් අත්හදා බලන්න තීරණය කරනවා.  

ඒ තමයි සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ දෙන්නාගෙන් ඉනිම ආරම්භ කරන්න ගත්ත තීරණය. මේ දෙන්නට හිතේ හැටියට පන්දු යවන්නන්ට පහර දෙන්න නායකයා, පුහුණුකරුවා වගේම කණ්ඩායම් කළමනාකාරිත්වයත් අවසර දීලා තිබුණේ. 

මේ තීරණය ක්‍රිකට් ක්‍රීඩාව කෙරීගෙන ආපු විදිය සම්පූර්ණයෙන් වෙනස් කළා කිව්වොත් වැරැද්දක් නැහැ. 

ජයසූරිය සහ කළුවිතාරණ දෙදෙනා පළමු පන්දුවාර 15 තුළ එල්ල කළ දැඩි ප්‍රහාරයෙන් ගැලවීමට කිසිම පන්දු යවන්නෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. බොහෝමයක් රටවල් තමන්ගේ රටෙන් මොවුන් දෙදෙනා මෙල්ල කිරීමට පන්දු යවන්නෙකු හෝ සනත්- කළු යුගලයට සමාන පිතිකරුවන් දෙදෙනෙකු සොයා ගැනීමට මහත් උත්සාහයක් දරමින් සිටියා. 

1996 ඉන්දියානු උපමහද්වීයේ පැවති විල්ස් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා කුමන ආකාරයේ පෙරළියක් කරාවි දැයි ක්‍රිකට් ලෝලීන් මහත් අවධානයෙන් හිටියේ. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම එවර ලෝක කුසලාන තරගාවලියේ මුල්ම තරගය ක්‍රීඩා කළේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව.  

කොළඹ සිංහල සමාජ ක්‍රීඩා පිටියේ පැවති මේ තරගයේ දී රොමේෂ් කළුවිතාරණ ඔහු මුහුණ දුන් මුල්ම පන්දුවෙන් දැවී ගිය අතර සනත් ජයසූරියට රැස් කරගන්න පුළුවන් වුනේ ලකුණු 06ක් පමණයි. මේ කඩුලු දෙකට වග කිව්වේ මෑතක දී වියෝ වූ සමුගත් හීත් ස්ට්‍රික් විසින්. 

මෙවන් ආක්‍රමණශීලී උපක්‍රමයක් සාර්ථක වීමට වගේම අසාර්ථක වීමටත් විශාල අවස්ථාවක් තිබෙනවා. නමුත් ජයසූරිය – කළුවිතාරණ දෙදෙනාට කණ්ඩායම් කළමනාකාරිත්වයේ ආශීර්වාදය තිබුණා. 

ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවන් දෙදෙනා තමන් කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණයක් කළේ දිල්ලි නුවර ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පැවති මූලික වටයේ තරගයේ දී. 

ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණ මේ තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 271ක ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුවේ පන්දුවාර පහක් නිමා වෙන්නටත් මත්තෙන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා මනෝජ් ප්‍රභාකර්ට සෑහෙන ප්‍රහාරයක් දියත් කරනු දැක ගත හැකි වුනා 

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් වඩාත් උද්දාමයට පත්ව සිටියේ ඒ වන විට විස්තර විචාරයේ යෙදී සිටි ටෝනි ග්‍රේග් 

ටෝනි ග්‍රේග් යනු සෑමවිටම ශ්‍රී ලංකාව ඉහළින් තබා කතා කළ ශ්‍රී ලංකාවට ආදරය කළ විස්තර විචාරකයෙක්. 1996 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෙන්ගතුව ඔහු කතා කළ ආකාරය කෙදිනකවත් අමතක කරන්න බැහැ. විශේෂයෙන්ම ඔහු සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ පළමු පන්දුවාර 15 ඇතුළත ක්‍රීඩා කළ ආක්‍රමණශීලී විලාශයට බෙහෙවින් පෙම් කළා. 

මේ අවස්ථාවේ දී ටෝනි ග්‍රේග්ට අනෙක් පසින් විස්තර විචාරක කුටියේ සිටියේ සුනිල් ගවස්කාර්. 

“මේ ගහන විදියට තරගය පන්දුවාර 15ක් යන්නත් කලින් ඉවර වේව්,” උද්දාමයට පත් ග්‍රේග් කෑගැහුවා. 

සුනිල් ගවස්කාර් යනු කිසිම දිනක ශ්‍රී ලංකාවට කැමැත්තක් දැක්වූ විස්තර විචාරකයෙකු නෙවෙයි. 

“මම හිතන්නේ ටෝනි ඔබ ඔය කියපු දේ නම් ටිකක් වෙන්න අමාරුයි,” ගවස්කාර් තරමක සිත් වේදානවකින් පිළිතුරු දුන්නා. 

“සනී, ආතතියට පත්වෙන්න එපා,ග්‍රේග් ගවස්කාර්ට පැවසුවේ සරදමක ස්වරූපයෙන්. 

ඉන්පසු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු හතරේ පහරක් එල්ල කළ වහාම ටෝනි ග්‍රේග් ගවස්කාර්ට සරදම් කරන ආකාරයක් දැක ගත හැකි වුනා. 

“මම මේ කල්පනා කළේ ඉන්දීය නායකයා, මොහොමඩ් අසාරුඩීන් මේ අවස්ථාවේ ඉන්න තැන මම හිටිය නම් මොකක් කරයි ද කියල. ඇත්තටම මට මුකුත් හිතාගන්න බැරි වෙයි,” කියමින් ගවස්කාර් හෙමින් සීරුවේ ලිස්සා ගියා. 

ගවස්කාර් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහත දමා කතා කළ මුල්ම අවස්ථාවත් එය නොවෙයි. 1995 වසරේ අග පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් තුන්කොන් තරගාවලියක් පැවැත්වුණා. සිංගර් සමාගම අනුග්‍රාහකත්වය දැක්වූ මේ තරගාවලියේ ජයග්‍රහණය ලැබුණේ ශ්‍රී ලංකාවට.  

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින පිටියේ සුළුවෙන් තැකිය නොහැකි කණ්ඩායමක් බව පෙන්නුම් කළ තරගාවලිය මෙයයි. මෙම තරගාවලියේ මූලික වටයේ තරගයක දී කොදෙව්වන් ලබා දුන් ලකුණු 333ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා. ඒ සමයේ එවැනි ලකුණු සංඛ්‍යාවක් හඹායෑම කිසි ලෙසකින්වත් ලෙහෙසි කාරණාවක් වුනේ නැහැ. 

ඉනිම් දෙක අතරතුර විවේකයේ දී සුනිල් ගවස්කාර් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට මෙම ලකුණු සංඛ්‍යාව කිට්ටුවකටවත් පැමිණිය නොහැකි බවයි. නමුත් ගවස්කාර්ගේ මතය බොරු කරමින් ශ්‍රී ලංකාව කොදෙව් ලකුණු සංඛ්‍යාව අසලටම පැමිණියා. අවසානයේ ඔවුන් පරාජය වුනේ ඉතාම අවාසනාවන්ත ලෙස ලකුණු හතරක පරතරයකින්. තරගය නිමාව දකින විට ගවස්කාර් විස්තර විචාරක කුටිය අසලකවත් නොසිටි බවයි කියවුනේ.

අවසන් පූර්ව තරගයට පෙර සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ කල්කටා නුවර දී පෙර පුහුණුවීම්වල යෙදෙමින්, ඡායාරූපය: රංජන් පරණවිතාන මහතාගේ විජයග්‍රහණය පොතෙන්

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කළ අනෙක් තරගය පැවැත්වුණේ කෝඩුකාර කෙන්යානුවන්ට එරෙහිව අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී. එදා සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 83ක් එක් කළේ තරගයේ පළමු පන්දුවාර හත ඉක්මයන්නත් කලින්. එය මෑත කාලීන විස්සයි විස්ස තරගවල දී දැකගන්න පුළුවන් තරමේ වේගවත් ආරම්භයක්. 

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට මුහුණ දෙන්න වුනේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව කල්කටා නුවර ඊඩන් ගාඩ්න්ස් පිටියේ දී. මේ වෙද්දී ජයසූරිය සහ කළුවිතාරණ දෙන්නා ප්‍රතිවාදීන්ගේ හිත්වලට විශාල භීතියක් ඇති කරලා ඉවරයි. 

“අපි කණ්ඩායම් රැස්වීමේ වැඩිපුරම කතා කළේ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ මෙල්ල කරන්නේ කොහොමද කියලා, ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරුවා වූ සචින් තෙන්දුල්කාර් එහෙම කිව්වේ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුලත්ව තැනු 800 චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනක දී. 

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා කරන වික්‍රම ගැන අවධානයේ සිටියේ ඉන්දියානුවන් පමණක් නොවෙයි. 

“ඔය කියන කාලේ වෙද්දී ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේම සනත් ජයසූරිය කෙනෙක් සොයමින් සිටියේ,” පසු කලෙක ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණ ක්‍රිකට් ලෝකය භීතියෙන් මුසපත් කළ ඕස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරුවා ඇඩම් ගිල්ක්‍රිස්ට් ඔහුගේ ස්වයං චරිතාපදානයේ එක් තැනක ලියලා තිබුණා. 

“1995/96 ඕස්ට්‍රේලියානු බෙන්සන් සහ හෙජස් තුන්කොන් එක්දින තරග වාරයේ දී මුල්ම වරට සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ දෙදෙනා ආරම්භ පිතිකරුවන් ලෙස භාවිතා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. එය ඇත්තෙන්ම වෙනස් අත්දැකීමක්. එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ දිනයේ පටන් බොහෝ රටවල් ආක්‍රමණශීලි ආරම්භක පිතිකරුවන් පිතිකරුවන් අත්හදා බැලුවත් එය සාර්ථක ආකාරයෙන් දිගින් දිගටම ක්‍රියාවේ යොදවන්නට කිසිවෙකු සමත් වුනේ නැහැ. නමුත් සනත් – කළු යුගලයේ අත්හදා බැලීම අති සාර්ථක වුනා.” 

ඇඩම් ගිල්ක්‍රිස්ට් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රකින්නාගේ කාර්‍ය්භාරය සහමුලින්ම වෙනස් කළ ක්‍රීඩකයා ලෙසයි සැලකෙන්නේ. සනත් ජයසූරිය මෙන්ම ඇඩම් ගිල්ක්‍රිස්ට් ද පසුකලෙක පන්දු යවන්නන්ට ඇති කළේ විශාල භීතියක් සහ පීඩනයක්.  

“ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරය අපිට හිතාගන්නවත් බැරි එකක්. 1996 වසර මුල දී මෙන්ම ලෝක කුසලාන තරගවල දීත් ඔවුන් පන්දු යවන්නන්ට නොසැහෙන්න බැට දුන්නා. ඊට පසු සිංගප්පූරුවේ පැවති තුන්කොන් තරගාවලියේ ඇතැම් තරගවල දීත් ඔවුන් දෙදෙනා පන්දුවාර තුනක් හෝ හතරක් ඇතුළත ලකුණු 50ක් රැස් කළා. සනත්- කළුගේ ප්‍රහාරය වැන්නක් ඊට පෙර කෙදිනවත්, කිසිම කෙනෙකුගෙන් කිසිම ආකාරයකින් අප දැක තිබුණේ නැහැ. විශේෂයෙන්ම පළමු පන්දුවාර කිහිපයේ යාර තිහේ සීමාවෙන් එපිටට ඉහලින් එල්ල කළ පහරවල් අදහාගත නොහැකි ආකාරයක් තිබුණේ,” ගිල්ක්‍රිස්ට් වැඩිදුරටත් පැවසුවා. 

ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙසින් සැලකෙන ඇඩම් ගිල්ක්‍රිස්ට් පවසන ආකාරයට වර්තමාන ප්‍රවේගකාරී ක්‍රීඩාවට මුල්ම අඩිතාලම වැටුණේ 1996 වසරේ ශ්‍රී ලාංකිකයින් හඳුන්වා දුන් පළමු පන්දුවාර කිහිපයේ පන්දු යවන්නන්ට දැඩිව පහර දීමේ උපක්‍රමය නිසාවෙන්. 

කලකට ඉහත ක්‍රිකට් ක්‍රීඩාවට නව සංකල්ප හඳුන්වා දෙමින් ක්‍රීඩාව නිරන්තරයෙන් නව්‍යකරණයට ලක් කළ ශ්‍රී ලාංකිකයින්ට හෙට දිනයේත් එවැනි නව සංකල්ප බිහිකිරීමට හැකියාවක් ඇති බව අප තරයේ විශ්වාස කරන්නේ ඉතිහාසය පුරාවට එවන් සාධක උවමනාවටත් වඩා හමු වී ඇති නිසා. 

තව රසබර කතාවක් සමග නැවත හමුවෙමු. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<