ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරාජය වෙයි

202

මෙම දිනවල බොස්ට්වානාහි ගැබොරෝන් නුවර දී පැවැත්වෙන 8 වන දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය ඊයේ (09) උතුරු අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අතර එහි දී පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන් ජය ගත හැකිව තිබූ එම තරගය ද පරාජයට පත්වන්නට ඔවුන්ට සිදු විය.

ස්කොට්ලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වෙයි

බොස්ට්වානා හි ගැබොරෝන් නුවර දී අද (08) ආරම්භ වූ 8 වන ලෝක යොවුන් දැල්පන්දු කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ස්කොට්ලන්ත

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 69-48ක් ලෙස පරාජයට පත්වූ අතර අනෙක් පසින් උතුරු අයර්ලන්ත කණ්ඩායම පසුගිය වසරේ ශූරයින් බවට පත්වූ නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 89-22ක් ලෙස දැවැන්ත පරාජයකට ලක්විය.

තරගය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම හොඳින් ලකුණු රැස්කළ නමුත් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ලකුණු 5-0ක ලකුණු පරතරයක් ගොඩනඟා ගන්නට උතුරු අයර්ලන්ත කණ්ඩායම සමත් විය. ඒ වන විට ලකුණු තත්වය ලකුණු 8-3ක් වශයෙන් පැවති අතර නැවතත් තරගයට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු තත්වය ලකුණු 9-7ක් වශයෙන් ඉදිරියට රැගෙන ඒමට සමත් විය. කෙසේ නමුත් තරගයේ පළමු කාර්තුව අවසානයේ දී නැවතත් ලකුණු 5-0ක පරතරයක් රඳවා ගත් උතුරු අයර්ලන්ත ක්‍රීඩිකාවන් එම කාර්තුව අවසන් කළේ ලකුණු 17-09ක් වශයෙන් ඉදිරියෙන් සිටිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන සචිනි රොද්‍රිගු වෙනුවට සුසීමා කුමාරි ක්‍රීඩා කළ අතර එහි දී ඔවුන් පන්දුව සාර්ථකව හුවමාරු කර ගැනීමට අපොහොසත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගයේ දෙවන කාර්තුව ආරම්භයේ දී ලකුණු 7-0ක් වශයෙන් ලකුණු තත්වය පවත්වා ගැනීමට උතුරු අයර්ලන්ත කණ්ඩායම සමත් විය. එහි දී එක් අවස්ථාවක දී තරගයේ ලකුණු තත්වය ලකුණු 25-10ක් ලෙස දැක්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15ක් පසුපසින් සිටිමිනි.

දෙවන කාර්තුවේ මැද භාගයේ දී නැවතත් සචිනිව සුපුරුදු ‘Center’ ස්ථානය වෙත යෙදවුණු අතර ඒ අනුව නැවතත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 6-0ක් වශයෙන් ලකුණු තත්වය පවත්වා ගැනීමට සමත් විය. ඒ අනුව තරගයේ දෙවන කාර්තුව නිමාවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 8ක් පසුපසින් සිටිමිනි.

පළමු අර්ධය: උතුරු අයර්ලන්තය 28 – 20 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ GA ස්ථානයේ ක්‍රීඩා කරන උපනායිකා කවීනා රාජපක්ෂ හොඳින් ක්‍රීඩා කරමින් GS ස්ථානයේ ක්‍රීඩා කරන මෙලනි විජේසිංහ හට අවස්ථාවන් නිර්මාණය කර දීමට සමත් විය. ඒ අනුව කණ්ඩායම් දෙකම තරගයේ තෙවන කාර්තුවේ දී කරට කර තරග වැදුණු අතර එම කාර්තුව නිමාවූයේ තරගයේ ලකුණු තත්වය ලකුණු 41-30ක් ලෙස සටහන් වෙමිනි.

නායිකා මන්දිරා චාරුණී (GD) සහ තරුෂි ඉල්ලංගරතන (GK) ප්‍රතිවාදීන්ගේ ප්‍රහාර අවහිර කරමින් හොඳින් ක්‍රීඩා කළ අතර අනෙක් පසින් කවීනා සහ මෙලනි ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය උපරිම දක්‍ෂතා ප්‍රදර්ශනය කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පළමු කාර්තුවේ දී ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා රටාව නිසා උතුරු අයර්ලන්ත කණ්ඩායම ගොඩනඟා ගත් ලකුණු පරතරය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට හරස් විය. ඒ අනුව තරගය නිමාවට පත්වූයේ උතුරු අයර්ලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් රැඳෙමිනි.

දෙවන අර්ධය: උතුරු අයර්ලන්තය 56 – 44 ශ්‍රී ලංකාව

කණ්ඩායම

1 වන කාර්තුව 2 වන කාර්තුව 3 වන කාර්තුව 4 වන කාර්තුව

සම්පූර්ණ කාලය

උතුරු අයර්ලන්තය 17 11 13 15 56
ශ්‍රී ලංකාව 9 11 10 14 44

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය සාමෝවා කණ්ඩායමට එරෙහිව හෙට (11) ප.ව. 5.30 ට පැවැත්වීමට නියමිතයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට 

MATCH REPLAY