හිතුවක්කාර අරාබි නායකයාට කදිම පාඩමක්!

Unheard World Cup Stories | Part 02

3254
15 Feb 1996: Allan Donald of South Africa hits Sultan Zarawani of the United Arab Emirates on the head with the cricket ball during the cricket world cup in Rawalpindi, Pakistan.

මේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක්.

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර ThePapare.com තුලින් පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපිමාලාවේ දෙවැන්නයි.

හිතුවක්කාර අරාබි නායකයාට කදිම පාඩමක්!

1996 අවුරුද්දේ ලෝක කුසලානය පැවැත්වුණේ ඉන්දීය උපමහද්වීපයේ. ඒ කියන්නේ ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සම සත්කාරකත්වයෙන්. විල්ස් සමාගම අනුග්‍රහය දක්වපු මේ ලෝක කුසලාන තරගාවලිය අපූරු සිදුවීම්වලින් බහුල එකක්.

1996 ලෝක කුසලානය දිනා ගන්න ඉදිරියෙන්ම හිටපු රටවල් අතරින් එකක් දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකානුවන් 1996 තමන්ගේ ලෝක කුසලාන ගමන ආරම්භ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට එරෙහිව. තරගය පැවැත්වුණේ පාකිස්තානයේ රාවල්පින්ඩි නුවර.

මේ තරගය හැමෝටම මතක හිටියේ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන් නොදැවී ලබා ගත්ත දැවැන්ත ශතකය නිසා. එදා කර්ස්ටන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 188ක්. හැබැයි තව අපූරු සිදුවීමක් නිසා මේ තරගය ක්‍රිකට් රසිකයින්ගේ මතකයේ රැඳුණා.

මේ කතාවේ කතානායකයා, සුදු අකුණුසැරය කියන විරුදාවලිය ලත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ්. එදා සිදුවීම ගැන ඔහු මතකය අවදි කරන්නේ මේ ආකාරයෙන්.

“ක්‍රිකට් ගහන කාලේ මට බැට්ස්මන් කෙනෙක්ගේ අතක් පයක් කඩලා දාන්න හිතුණේ එකම එක වතාවක දී විතරයි.

96 ලෝක කුසලානයේ අපිට මුල්ම මැච් එක තිබුණේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම එක්ක. 

උන්ගේ නායකයා සුල්තාන් සරවානි බැට් කරන්න එද්දී මම තමයි බෝල් කර කර හිටියේ. මෙන්න සරවානි එනවා හෙල්මට් එකකුත් නැතුව හැට් එකක් විතරක් දාගෙන.

ලෝකේ වේගවත්ම පන්දු යවන්නෙක් කියලා හංවඩු ගැහිලා ඉන්න මට ගහන්න පොර එන්නේ හෙල්මට් එකක්වත් නැතුව සාමාන්‍ය හැට් එකක් දාගෙන. හිතපල්ලකෝ මට ඒ වෙලාවේ ආපූ කේන්තිය. අනිත් පැත්තෙන් බැලුවාම ස්වල්ප මදිපුංචිකමක් නෙවෙයි ඒක.

පැට් සිම්කොක්ස් හෙමීට මට කිට්ටු කරලා මෙහෙම කිව්වා.

‘ඇල්, පොරට පැලෙන්න සල්ලි තියනවා, ෆෙරාරි එහෙමත් තියනවා. පොර ක්‍රිකට් ගහන්නේ ෆන් එකට. ඒ මදිවට මූ හැට් එකක් දාගෙන ඇවිත් තියෙන්නේ උඹට ගහන්න. ඔළුව පොඩ්ඩක් හොල්ලලා ගමු ද?”‘ 

සිමෝ නොනවත්වා දිගටම කියෙව්වා.

සරවානිගේ හිසේ වැදුණ පන්දුව නිසා හිස්වැස්ම ඉවතට විසි වූ ආකාරය

‘ඇල්, ඔළුව ඈ ඔළුව. පළවෙනි බෝලෙම ඔළුවම ටාගට් කරපන්.’

සිමෝගේ වදෙන් බේරෙන්න බැරි නිසාම මම සරවානිට බවුන්සර් එකක් යවන්න හිතුවා.

තඩ්!

හරියටම ඒ බෝලේ වැදුණේ සරවානිගේ ඔළුවේ වම් පැත්තේ. පොරගේ හැට් එක පැත්තකට විසිවෙලා ගියා.

‘මූ තමයි මුළු ටීම් එකටම සල්ලි වියදම් කරන්නේ. දෙයියන්ගේ නාමෙට ඌව මරන්න එපා.’

විනිසුරුවරයා විදියට කටයුතු කරපු බටහිර ඉන්දීය කොදෙව් ජාතික ස්ටීව් බක්නර් හෙමීට මට කිට්ටු වෙලා කිව්වා.

අන්දුන් කුන්දුන් වෙලා හිටපු සරවානි ඔළුව අතගාන ගමන්ම හෙමින් සීරුවේ නැවිලා හැට් එක ආපහු අරන් දාගත්තා. 

‘මිත්‍රයා, උඹට කොයි තරම් සල්ලි තිබුණත් ඒ දේවල් අපිට අදාළ නෑ. මේ පොඩි කාලේ වත්ත පහළ ගහන ක්‍රිකට් නෙවෙයි ඉන්ටර්නැෂනල් ක්‍රිකට්. හරිහමන් හෙල්මට් එකක් දාගෙන වරෙන්’

සිම්කොක්ස්, සරවානිට කිට්ටු කරලා කියනවා මම අහගෙන.

හිතුවක්කාර සරවානි ඒකෙන් මට්ටු වුණෙත් නෑ. දිගටම හැට් එක දාගෙන බැට් කළේ. වාසනාවකට මිනිහා වැඩි වෙලා යන්න කළින් අවුට් වුණා.”

මේ තරගය ලකුණු 169කින් ඉතාම පහසුවෙන් ජයගෙන ජයග්‍රාහීව සිය ලෝක කුසලාන ගමන ආරම්භ කරන්නට එදා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා.

සවිමත් සිතකින් ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානු තරුණයා

දිනය 2007 වසරේ අප්‍රේල් 25 වැනිදා.

එය ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු අන්දමේ කාලගුණයකින් යුතු මනරම් දවසක්. එවකට ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තවත් ලෝක කුසලානයක් ඩැහැගන්නට සූදානම් වෙමින් සිටියා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ශාන්ත ලුසියාහීදී මේ  කතා කරන දිනයේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයෙකු උදෑසනම අවදිවූයේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකදී දැනෙන උද්‍යෝගිමත් බව සිත දරාගෙන.

අත්ලාන්තික් සාගරය හරහා හමා ආ සුළං රැල්ලක් අප තරුණ ක්‍රීඩකයා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරය හරහා හමා ගියා.

එකවරම අප කතානායක තරුණ ක්‍රීඩකයාගේ ජංගම දුරකතනය නාදවන්නට පටන් ගත්තා.

විදේශයකින් ලැබෙන දුරකතන ඇමතුමක්.

“පප්”

එහා කෙළවරෙන් හැඬුම්බර ස්වර‍යකින් ඇසුණා.

“එයාලා කියන්නේ වර්ල්ඩ් කප් ඉවරවෙනකල් මේක ඔයාට කියන්න එපාලු. ඒත් මට මේක තවත් දරාගෙන ඉන්න බෑ”

දුරකතන ඇමතුම ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින තම සහෝදරියගෙන් බව හඳුනා ගන්නට තරුණ ක්‍රීඩකයාට අපහසු වූයේ නැහැ.

“පප්, තාත්තාට කැන්සර් එකක් කියල හඳුන ගත්තා. අපි ස්කෑන් කිහිපයක් කළා. දැන් ට්‍රීට්මන්ට්ස් කරන්න තමයි තියෙන්නේ. “

තරුණ ඕස්ට්‍රේලියානුවාට දැනුණේ තමා උස්සා පොළොවේ ගැසුවාක් මෙන් හැඟීමක්. තොල කට වියළී යන අවස්ථාවක අපහසුවෙන් සිහි එළවාගත් ඔහු මෙසේ පැවසුවා.

“මම කෙළින්ම ගෙදර එනවා.”

“නෑ. නෑ දෙයියන්ගේ නාමෙන් එහෙම කරන්න එපා. ඔවුන් කියන්නේ ඔබට ලෝක කුසලානය ක්‍රීඩා කරලා එන්න කියලා. අනිත් කාරණාව පප්, ඔයා ආවත් දැන් වෙනස් කරන්න පුළුවන් දෙයක් ඉතිරි වෙලා නැහැ.”

ජීවිතයේ කෙනෙකුට අසන්නට ලැබෙන දුක්ඛදායීම ආරංචියක් හමුවේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට ක්‍රීඩා කළ මයිකල් ක්ලාක් නම් තරුණ ක්‍රීඩකයා එදා ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තවත් ලෝක කුසලානයක් අභියසට රැගෙන ගියා.

මයිකල් ක්ලාක් සිය අර්ධ ශතකය ලබාගත් මොහොත

ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියේ දැඩි ප්‍රහාරය හමුවේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් අන්ත අසරණ වූ අතර ෂෝන් ටේට් කඩුලු හතරක් සහ ග්ලේන් මැග්‍රාත් කඩුලු තුනක් දවා ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුනු කර දැම්මා.

මයිකල් ක්ලාක් එදා ඕස්ට්‍රේලියානු ඉනිම සවිමත් කරමින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 60ක්. පන්දු යවන්නන්ගේ බිහිසුණු පන්දුකරණය සහ පිතිකරුවන්ගේ වගකීම් සහගත පිතිකරණය නිසා ඕස්ට්‍රේලියානුවන් පිටපිට තමන් සහභාගී වන තෙවන ලෝක කුසලාන අවසන් මහා තරගයටයි එදා සුදුසුකම් ලැබුවේ.

තවත් කතා කිහිපයක් සමඟ හමුවෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<