ශ්‍රී ලංකාවට හදි කළ රොඩේෂියානුවා

Unheard World Cup Stories | Part 07

1388

මේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක්.

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර අපි හිතුවා පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපිමාලාවේ හත්වැන්නයි.

1992 වසරේ බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන්.

එවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ නවසීලන්තයේ නිව් ප්ලයිමවුත්’හීදී.

මේ තරගයේ දී කෝඩුකාර සිම්බාබ්වේ කණ්ඩායමෙන් අත්දැකීම් සහිත ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වුනේ විශාල තර්ජනයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අරවින්ද ද සිල්වා මුලින්ම පන්දුවට පහර දීමේ වාරය සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්නා.

එදා සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වුනේ සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන ඇන්ඩි ෆ්ලවර්.

ශ්‍රී ලංකා පන්දුයවන්නන් හමුවේ අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ ෆ්ලවර් මේ තරගයේ දී ශතකයක් ලබා ගත්තා.

සිම්බාබ්වේ ඉනිම පුරාවටම ක්‍රීඩා කළ ෆ්ලවර් එදා පන්දු 152කින් නොදැවී ලකුණු 115ක් රැස් කළා. ෆ්ලවර්ගේ ඉවසිලිමත් ඉනිම වටා ක්‍රීඩා කළ අනෙක් සිම්බාබ්වේ පිතිකරුවන් වේගවත් ඉනිම් කිහිපයක් දියත් කළා.

ඇන්ඩි වොලර් පන්දු 45කින් නොදැවී ලකුණු 83ක් රැස් කළ අතර කෙවින් ආ‍ර්නොට් පන්දු 56කින් ලකුණු 52ක් රැස් කළා.

සිය පන්දුවාර 50 අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හතරක් දැවී ලකුණු 315ක් රැස් කළා.

ඒ වන තෙක් කිසිම කණ්ඩායමක් ලකුණු තුන්සීයකට වැඩි ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජයග්‍රහණය කර තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සිම්බාබ්වේ කණ්ඩායම ලබා දුන් අභියෝගය භාරගත්තේ ඉතාම ධනාත්මක විදියට. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 128ක් වෙද්දී.

අතුල සමරසේකර පන්දු 61කින් වේගවත් ලකුණු 75ක් රැස් කර එලෙස දැවී ගියේ සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන්ට සවිමත් අඩිතාලමක් දමමින්. ඔහු සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ රොෂාන් මහානාම ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 89කින් ලකුණු 59ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලබා දුන් ශක්තිමත් පදනම ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ට මහත් ආශිර්වාදයක් වුනා. සනත් ජයසූරිය පන්දු 23කින් ලකුණු 32ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ අනර්ඝතම ඉනිම වාර්තා වුනේ අර්ජුන රණතුංගගේ පිත්තෙන්. අර්ජුන පන්දු 61කින් නොදැවී ලකුණු 88ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර නමයක් සමඟින්.

ශ්‍රී ලංකා පිතිකරුවන් ජයග්‍රාහී ඉලක්කය හඹා ගියේ 50 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී. එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු 300කට වැඩි ඉලක්කයක් සාර්ථකව හඹා ගිය පළමු අවස්ථාව ලෙස එය ඉතිහාස පොත්වල ලියැවුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළත් තරගයේ වීරයා සම්මානය ලැබුණේ සිම්බාබ්වේ කණ්ඩායමේ ඇන්ඩි ෆ්ල්වර්ට. මේ ශතකය සමඟ එක්දින තරග ඉතිහාසයේ මංගල තරගයේ දී ම ශතකයක් වාර්තා කර ගත් තෙවැනි පිතිකරුවා ෆ්ලවර් වුනා.

එලෙස සිය එක්දින තරගය දිවියට අති සාර්ථක ආරම්භයක් ලබා ගත් ඇන්ඩි ෆ්ලවර්ට සිය දෙවැනි එක්දින ශතකය වෙනුවෙන් තවත් සෑහෙන කාලයක් බලා ඉන්නට වුනා.

ෆ්ලවර්ගේ දෙවැනි එක්දින ශතකය වාර්තා වුනේ මංගල එක්දින ශතකයෙන් වසරට අටකට පසුව. මේ අවස්ථාවේ දීත් ෆ්ලවර්ගේ ප්‍රතිවාදියා වුනේ ශ්‍රී ලංකා කණ්ඩායම.

2000 වසරේ ඔක්තෝබර් මාසයේ සාජා නුවර පැවති කොකා-කෝලා ශූරයින්ගේ කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 120ක් ලබාගන්නට ෆ්ල්වර් සමත් වුනා. අවාසනාවකට මේ තරගයත් කඩුලු හතකින් සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්වුනා.

මේ ශතක දෙක අතරතුර කාලයේ කිහිපවතාවක් ශතක සීමාව ආසන්නයට ෆ්ලවර් පැමිණියත් ශතක සීමාව අභිභවා යෑමට ඔහුට හැකි වුනේ නැහැ.

ෆ්ල්වර්ට මේ තරගය විශේෂ එකක් වුනේ ශතකයක් රැස් කර ගත් නිසාම නෙවෙයි. මේ තරගය ෆ්ලවර් සිය තරග දිවියේ ක්‍රීඩා කළ 150 වැනි එක්දින තරගයයි.

දෛවෝපගත ආකාරයෙන් ඇන්ඩි ෆ්ලවර් සිය එක්දින තරග දිවියේ අවසාන තරගයට ක්‍රීඩා කළෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. ඒ 2003 වසරේ දී. දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන්’හි

බෆලෝ පාක් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් ලෝක කුසලාන තරගාවලියේ රැඳී සිටීමට නම් ජය ගත යුතුම තරගයක් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දෙන්නට ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය තීරණය කළා. මාවන් අතපත්තු නොදැවී ලකුණු 103ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා. මාවන්ගේ අනර්ඝ පිතිහරඹය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු පහක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 256ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 257ක ජයග්‍රාහී ඉලක්කය සිම්බාබ්වේ කණ්ඩායම සාර්ථක ආකාරයෙන් හඹා යන ආකාරය පෙනෙන්නට තිබුණා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක් දියත් කරමින් සිටි ෆ්ලවර් දැවී ගියේ අරවින්ද ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

ෆ්ලවර්ගේ පා ආවරණයේ පන්දුව වදිනවාත් සමඟම ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉල්ලීමක් කළ අවස්ථාවේ දී දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු බ්‍රයන් ජර්ලිං ඇඟිල්ල උසවමින් එය දැවී යෑමක් බවට සංඥා කළා.

නමුත් රූපවාහිනී ප්‍රතිරූපනවලින් පෙන්නුම් කෙරුණේ පන්දුවට පා ආවරණයේ වදින්නට කළින් පිත්තේ වැදුණු බවයි. අසාධාරණ තීරණයක් හමුවේ පිටියෙන් ඉවතට යන විට ෆ්ලවර් ලකුණු 38ක් ලබාගෙන සාර්ථක අන්දමින් පිතිකරණයේ යෙදෙමින් සිටියා.

විනිසුරුවරයා සිය දැවී යෑම වෙනුවෙන් ඇඟිල්ල ඔසවන අවස්ථාවේ දී ඇන්ඩි ෆ්ලවර් සෑහෙන කලකිරීමකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණා.

ඇන්ඩි ෆ්ලවර්ට 2003 ලෝක කුසලාන චාරිකාව අමතක නොවන එකක්.

සිම්බාබ්වේ කණ්ඩායම 2003 ක්‍රිකට් ලෝක කුසලානයේ සිය ආරම්භක තරගයට ක්‍රීඩා කළේ නැමීබියා කණ්ඩායමට එරෙහිව. හරාරේ නුවර පැවති මෙම තරගයෙන් පහසු ජයක් අත් කරගන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රහණයට වඩා කැපී පෙනෙන සිද්ධියක් මේ තරගයේදී සිදුවුනා.

රොබට් මුගාබේගේ ඒකාධිපති වියරුවට එරෙහිව සිම්බාබ්වේ දේශයේ ප්‍රජාතන්ත්‍රවාදය මිය යමින් තිබූ මොහොතක සිම්බාබ්වේ දේශය බිහි කළ අනර්ඝතම පිතිකරුවා වූ ඇන්ඩි ෆ්ලවර් සහ වේගපන්දු යවන ක්‍රීඩක හෙන්රි ඔලොන්ගා කලු පටි බැඳ ගනිමින් සිය විරෝධතාවය ප්‍රකාශ කළා.

ෆ්ලවර් සහ ඔලොන්ගා කළ ක්‍රියාව ලොව පුරා බොහෝ දෙනෙක් ඉහළින් අගය කරන්නට වුනා.

ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කළ ඊළඟ ලෝක කුසලාන තරගය අතරතුර, ෆ්ලවර් සහ ඔලොන්ගාගේ විරෝධතාවට සහය දැක්වීම සඳහා අත්වල කළු පටි බැඳ ගත් ප්‍රේක්ෂකයින් 200කට ආසන්න පිරිසක් හරාරේ ක්‍රීඩා සමාජ පිටියට පැමිණ සිටියා.

විස්ඩන් ක්‍රිකට්’හි පළ වූ ලිපියක් ඇසුරු කරගන්නා ලදි.

තවත් ලෝක කුසලාන කතාවක් සමඟ නැවත හමුවෙමු.

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<