T20 ලෝක කුසලානයට එංගලන්ත සංචිතය නම් කරයි

ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය

1042

එළඹෙන ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා. එම එංගලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ජාතික කණ්ඩායමේ හා The Hundred තරගාවලියේ දී දිගින් දිගටම අසාර්ථක වූ Jason Royට එංගලන්ත විස්සයි විස්ස කණ්ඩායමේ සිය අසුන අහිමි වී තිබෙනවා. ඔහු වෙනුවට Phil Salt කණ්ඩායමට කැඳවා තිබෙන අතර Salt මේ වසර මුල දී සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළා.

2021 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සිට ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 11ක් ක්‍රීඩා කර තිබුණු Roy එහි දී රැස් කරගෙන තිබුණේ ලකුණු 206ක් පමණයි.

මේ දිනවල ක්‍රියාත්මක The Hundred තරගාවලියේ ඉතා හොඳ දස්කම් දක්වන Salt තරග 8ක දී ලකුණු 313ක් රැස් කරගෙන සිටින්නේ 44.71ක සාමාන්‍යයක් රඳවා ගනිමිනුයි.

Jos Buttler පළමු වතාවට ICC තරගාවලියක දී එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නට සූදානමින් සිටින නමුත්, ඔහු මේ වන විට පාදයේ ආබාධයකට ලක්ව සිටිනවා.

එම නිසා එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ Moeen Ali හටයි. එංගලන්තය පාකිස්තාන කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරග 7ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Dawid Malan නැවත වතාවක් එංගලන්තය සංචිතයට ඇතුළත්ව සිටින අතර මේ වසරේ විස්සයි විස්ස තරගවල දී ඔහුගේ ප්‍රහාරක වේගය දැක්වෙන්නේ 148.27ක් ලෙසයි. මේ වන විට The Hundred තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ද Malan. සාමාන්‍ය 59.66ක් ලෙස පවත්වා ගෙන ඔහු ලකුණු 358 ක් රැස් කරගෙන සිටිනවා.

Tymal Mills, Liam Dawson හා Richard Gleeson අතිරේක පන්දු යවන්නන් ලෙස නම් කර තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන අන්දමට Mark Wood හා Chris Woakes දෙදෙනාම සිය ආබාධවලින් සුවය ලබා තිබෙන අතර ඔවුන් දෙදෙනා ද 15 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතයට නම් කර තිබෙනවා.

ලෝක කුසලානයට එරෙහිව පැවැත්වෙන පාකිස්තාන සංචාරය සඳහා එංගලන්තය ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා. ජාත්‍යන්තර වරම් දිනා නැති Jordan Cox, Tom Helm, Will Jacks, Olly Stone හා Luke Wood ද එම සංචිතයට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියටත් ලෝක කුසලානයට නම් කළ සංචිතයම ක්‍රීඩා කරනු ඇතැයි ද වාර්තා වෙනවා.

ලෝක කුසලානයට හා ඕස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියට නම් කළ එංගලන්ත සංචිතය: Jos Buttler (නායක), Moeen Ali, Jonathan Bairstow, Harry Brook, Sam Curran, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Phil Salt, Ben Stokes, Reece Topley, David Willey, Chris Woakes, හා Mark Wood.

  • අතිරේක ක්‍රීඩකයින්: Tymal Mills, Liam Dawson, හා Richard Gleeson

පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස තරගාවලියට නම් කළ එංගලන්ත සංචිතය: Jos Buttler (නායක), Moeen Ali, Harry Brook, Jordan Cox, Sam Curran, Ben Duckett, Liam Dawson, Richard Gleeson, Tom Helm, Will, Jacks, Dawid Malan, Adil Rashid, Phil Salt, Olly Stone, Reece Topley, David Willey, Chris Woakes, Luke Wood, හා Mark Wood

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<